බෙලාරුස් රාජ්‍යයේ රඳවා සිටින සිය ගණනක දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ අරමුණින් ඇමරිකානු විශේෂ නියෝජිත ජෝන් කෝල් (John Coale) අද (මාර්තු 19) මින්ස්ක් (Minsk) නුවරදී එරට නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ (Aliaksandr Lukashenka) හමුවිය. වොෂින්ටනයේ දැඩි මැදිහත්වීම මත පසුගිය මාස කිහිපය තුළ බෙලාරුස් රජය විසින් සිරකරුවන් කිහිපදෙනෙකු නිදහස් කිරීමට පියවර ගෙන ඇති පසුබිමක මෙම හමුව සිදුව තිබේ.
‘වියාස්නා’ (Viasna) මානව හිමිකම් මධ්‍යස්ථානයට අනුව, බෙලාරුස් බන්ධනාගාරවල තවමත් දේශපාලන සිරකරුවන් 1,100කට අධික පිරිසක් රඳවා සිටිති. ඉන් බහුතරයක් 2020 වසරේ පැවැති මතභේදාත්මක මැතිවරණයෙන් පසු හටගත් දැවැන්ත විරෝධතාවලදී අත්අඩංගුවට ගත් පිරිස් වේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පදවි ප්‍රාප්තියෙන් පසු බෙලාරුස් සමඟ යහපත් සබඳතා ගොඩනගා ගැනීමට උත්සාහ දරන අතර, පනවා තිබූ සම්බාධක ලිහිල් කරමින් බෙලාරුස් රාජ්‍යය සිය “සාම මණ්ඩලයට” (Board of Peace) ද එක්කරගෙන ඇත.
මෙම සාකච්ඡා මාලාවේ ප්‍රතිඵලයක් ලෙස මරියා කොලෙස්නිකෝවා (Maria Kolesnikova), නොබෙල් ත්‍යාගලාභී ඇලෙස් බියාලියැට්ස්කි (Ales Bialiatski) සහ මිකෝලා ස්ටැට්කෙවිච් (Mikola Statkevich) වැනි ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරීන් නිදහස් කිරීමට ලුකෂෙන්කෝ රජය මීට පෙර පියවර ගෙන තිබුණි. අද පැවැති හමුවේදී ලුකෂෙන්කෝ ප්‍රකාශ කළේ දෙරට අතර සාමාන්‍ය තානාපති සබඳතා නැවත ආරම්භ කිරීම සහ සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව තමන් සාකච්ඡා කරන බවයි. පසුගිය සැප්තැම්බර් මාසයේදී ද ඇමරිකාව සමඟ ඇති කරගත් එකඟතාවයකට අනුව බෙලාරුස් දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස් කරන ලදී.














