යුරෝපා සංගමයේ නායකයින් 27 දෙනා අද (මාර්තු 19) බ්‍රසල්ස් නුවරදී විශේෂ සමුළුවක් සඳහා රැස්වන අතර එහිදී මැදපෙරදිග ඉරාන යුද්ධය සහ යුක්රේනයේ ‘ඩ්‍රූෂ්බා’ (Druzhba) තෙල් නල මාර්ගය සම්බන්ධයෙන් පවතින අර්බුදය පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. මුලින් ආර්ථික තරඟකාරිත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබුණද වර්තමාන යුදමය වාතාවරණය හමුවේ නායකයින්ට නැවතත් “හදිසි අවස්ථා කළමනාකරණ” (Crisis mode) මට්ටමට පිවිසීමට සිදු වී තිබේ.
ඉරානය විසින් කටාර්හි බලශක්ති මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාර සහ ඊට ප්‍රතිචාර ලෙස ඉරානයේ ගෑස් මධ්‍යස්ථාන විනාශ කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය හේතුවෙන් ලෝක බලශක්ති මිල ගණන් දැඩි ලෙස ඉහළ ගොස් ඇත. හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත හැකි රාජ්‍ය තාන්ත්‍රික පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ. යුක්රේනය හරහා හංගේරියාවට තෙල් රැගෙන යන ඩ්‍රූෂ්බා පයිප්ප මාර්ගය වසා දැමීම හේතුවෙන් හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් (Viktor Orbán) යුක්රේනයට ලබා දීමට නියමිත යුරෝ බිලියන 90ක ණය මුදල වළක්වා තිබේ.
බලශක්ති මිල ඉහළ යාම හමුවේ යුරෝපයේ කාබන් විමෝචන නීති (ETS) සංශෝධනය කළ යුතු බවට ඉතාලිය, හංගේරියාව සහ චෙක් ජනරජය ඇතුළු රටවල් 10ක් ඉල්ලා සිටින අතර ස්පාඤ්ඤය සහ ස්වීඩනය වැනි රටවල් ඊට විරුද්ධත්වය පළ කරයි. අද උදෑසන විරෝධතාකරුවන් පිරිසක් යුරෝපීය කොමිසමේ ප්‍රධාන ගොඩනැගිල්ලේ “Trump Towers” සහ “Resist Trump’s agenda” යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක නිරත වූ අතර එහිදී පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සමුළුව හෙට දිනය දක්වා ද පැවැත්වීමට ඉඩ ඇති අතර යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ද හෙට දිනයේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ නායකයින් ඇමතීමට නියමිතය.














