අධික ලෙස මත්පැන් පානය කිරීමේ ආදීනව ගැන බොහෝ දෙනෙක් දැන සිටියද, අප ශරීරයට ඇතුළු වන මත්පැන් ප්‍රමාණය අක්මාව මගින් දහනය කරන වේගය පිළිබඳව බොහෝ දෙනෙකුට අවබෝධයක් නොමැති බව ඇමරිකානු ස්නායු ශල්‍ය වෛද්‍ය බ්‍රයන් හෝෆ්ලින්ගර් (Dr. Brian Hoeflinger) පෙන්වා දෙයි. ඔහු පවසන පරිදි මත්පැන් පානය කර විනාඩි පහක් ඇතුළත එය මොළයට බලපෑම් කිරීමට පටන් ගත්තද, අපේ අක්මාවට පැයකට දහනය කළ හැක්කේ මත්පැන් අවුන්ස එකක් (ආසන්න වශයෙන් මිලිලීටර් 30ක්) පමණි.
යූටියුබ් (YouTube) ඔස්සේ ඉතා ජනප්‍රිය වී ඇති ඔහුගේ වීඩියෝවක් මගින් ඔහු මේ බව පැහැදිලි කරන්නේ ප්‍රායෝගික උදාහරණයක් ද සමඟිනි. යම් පුද්ගලයෙකු කෙටි කාලයක් තුළ මත්පැන් අවුන්ස පහක් ශරීරයට ඇතුළු කරගතහොත්, පළමු පැය අවසානයේදී අක්මාවට දහනය කළ හැක්කේ ඉන් එක අවුන්සයක් පමණක් වන අතර ඉතිරි අවුන්ස හතරම රුධිර සංසරණ පද්ධතියේ ඉතිරි වේ. මෙලෙස කෙටි කාලයකදී වැඩි මත්පැන් ප්‍රමාණයක් පානය කිරීම (Binge drinking) ශරීරයට සහ මොළයට දැඩි පීඩනයක් එල්ල කරන බව ඔහු අනතුරු අඟවයි.
බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) ද මත්පැන්වලට ඇබ්බැහි වීමේ ලක්ෂණ හයක් පිළිබඳව මහජනතාව දැනුවත් කර ඇති අතර සිතීමකින් තොරව දිනපතා මත්පැන් පානය කිරීම සහ මත්පැන් ඇති ස්ථානවල පමණක් සමාජගත වීම ඒ අතර ප්‍රධාන වේ. එමෙන්ම දහවල් කාලයේ නිතිපතා මත්පැන් පානය කිරීම සහ නියමිත සීමාවන් ඉක්මවා මත්පැන් භාවිත කිරීම මත්පැන්වලට ඇබ්බැහි වීමේ පැහැදිලි ලක්ෂණ බව වෛද්‍යවරු පෙන්වා දෙති. වසන්ත සහ ගිම්හාන කාලවලදී මත්පැන් භාවිතය ඉහළ යන බැවින් මෙවැනි සෞඛ්‍ය උපදෙස් කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.














