ලොව සමස්ත තෙල් සහ දියර ස්වාභාවික වායු සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන උපායමාර්ගිකව වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නෞකාවලින් සංක්‍රමණ ගාස්තු සහ බදු අය කිරීමේ පනත් කෙටුම්පතක් කෙරෙහි ඉරාන පාර්ලිමේන්තුවේ අවධානය යොමුව තිබේ. අමෙරිකා-ඉරාන යුදමය වාතාවරණය හමුවේ මෙම මුහුදු තීරයේ පාලනය තහවුරු කරගෙන සිටින ඉරානය, තමන්ට එරෙහිව සම්බාධක පනවා ඇති බටහිර රටවල නෞකාවලට මෙමගින් දැඩි බලපෑමක් එල්ල කිරීමට අපේක්ෂා කරයි. යුද්ධය අවසන් වූ පසු හෝමූස් සමුද්‍ර සන්ධිය සඳහා “නව පාලන තන්ත්‍රයක්” හඳුන්වා දීමට සූදානම් බවත්, ඒ හරහා තමන්ට එදිරිවාදී රටවල නෞකා ගමනාගමනය පාලනය කිරීමට හෝ වැළැක්වීමට කටයුතු කරන බවත් ඉරාන උත්තරීතර නායකයාගේ උපදේශක මොහොමඩ් මොක්බර් මහතා අවධාරණය කර ඇත.














