ශ්‍රී ලංකාවේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA), ප්‍රබල ගල්ෆ් කලාපීය ගුවන් සේවාවන් සඳහා විකල්ප මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාව “නරක අදහසක් නොවන” බව ප්‍රකට ගුවන් සේවා විශ්ලේෂක බෙන් ෂ්ලැපිග් (Ben Schlappig) පවසයි. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් දේශපාලනික සහ යුධමය තත්ත්වයන් හමුවේ එමිරේට්ස් (Emirates) සහ කටාර් (Qatar Airways) වැනි ප්‍රබල ගුවන් සේවාවන් මුහුණ දෙන මෙහෙයුම් අවිනිශ්චිතතාවයට මෙය නිර්මාණාත්මක විසඳුමක් විය හැකි බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම නැගෙනහිර සහ බටහිර යා කෙරෙන ප්‍රධාන ගුවන් ගමන් මාර්ගයක පිහිටා තිබීම මත්තලට ඇති සුවිශේෂී වාසියකි.
දිගු කලක් තිස්සේ අවම භාවිතයක් සහිත ගුවන් තොටුපළක් ලෙස සැලකුණු මත්තල, මෙවැනි හදිසි අවස්ථාවකදී විකල්ප සංක්‍රමණික මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීම ගුවන් සමාගම්වලට මහත් සහනයක් වනු ඇත. මැදපෙරදිග කලාපයේ පවතින බාධාවන් හේතුවෙන් ගුවන් ගමන් අඩාල වීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ද සෘජු බලපෑමක් එල්ල කර ඇති බැවින්, මෙම යෝජනාව සාර්ථක වුවහොත් එය මෙරට ආර්ථිකයට ද විශාල ශක්තියක් වනු නිසැකය. කෙසේ වෙතත්, මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී භූමි මෙහෙයුම් කටයුතු (Ground handling) කඩිනමින් ඉහළ නැංවීම, ගුවන් යානා ඉන්ධන සුරක්ෂිත කිරීම සහ කාර්ය මණ්ඩල නවාතැන් පහසුකම් වැනි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අභියෝගයන්ට රජය මුහුණ දිය යුතු බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මැදපෙරදිග අර්බුදය හමුවේ ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් තම මෙහෙයුම් කටයුතු ආරක්ෂිතව පවත්වාගෙන යාමට විකල්ප සොයමින් සිටින මොහොතක, ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ මෙම යෝජනාව ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. මත්තල ගුවන් තොටුපළේ පවතින ඉඩකඩ සහ පිහිටීම නිසි ලෙස කළමනාකරණය කළහොත්, එය කලාපීය ගුවන් සේවා හුවමාරු මධ්‍යස්ථානයක් (Aviation Hub) ලෙස ඉදිරියට ඒමට මනා පිටුවහලක් වනු ඇත.
















