ඉරාන යුද්ධය ආරම්භ වී සති තුනක් ගතවන තැන, ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානීන් සහ ට්‍රම්ප් පරිපාලනය අතර යුද්ධයේ අරමුණ පිළිබඳව බරපතල පරස්පරතා මතුව ඇති බව වාර්තා වේ. පසුගිය බදාදා සෙනෙට් බුද්ධි කමිටුව හමුවේ සාක්ෂි ලබා දෙමින් ජාතික බුද්ධි අධ්‍යක්ෂිකා තුල්සි ගැබාර්ඩ් (Tulsi Gabbard) මහත්මිය, ඉරානය සමඟ යුද්ධයක් ආරම්භ කිරීමේ සැබෑ අභිප්‍රාය පිළිබඳව නැගූ ප්‍රශ්න මඟහැරීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ.
ඉරානය විසින් ඇමෙරිකාවට එල්ල කළ හැකි කිසිදු “ආසන්න තර්ජනයක්” (Imminent threat) නොපැවති බව පවසමින් ජාතික ප්‍රතිත්‍රස්ත මධ්‍යස්ථානයේ (NCTC) අධ්‍යක්ෂ ජෝ කෙන්ට් (Joe Kent) මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. මෙම යුද්ධය දියත් කරනු ලැබුවේ තනිකරම ඊශ්‍රායලයේ බලපෑම මත බවට ඔහු බරපතල චෝදනාවක් එල්ල කර තිබේ. මෙය ට්‍රම්ප් පරිපාලනය තුළ යුද්ධය සම්බන්ධයෙන් පවතින බෙදීම මනාව විදහා දක්වන සිදුවීමකි.
FBI අධ්‍යක්ෂ කාශ් පටෙල් (Kash Patel) සහ තුල්සි ගැබාර්ඩ් යන දෙපළම යුද්ධයේ අවශ්‍යතාවය පිළිබඳව කොන්ග්‍රස් මණ්ඩලයේදී විමර්ශනයට ලක් විය. බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය වාර්තා කරන්නේ යුද්ධය ආරම්භ කිරීමේදී ලබා දුන් හේතු සහ වත්මන් යුදමය වාතාවරණය අතර පවතින පරස්පරතාවය හේතුවෙන් ඇමෙරිකානු දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවයි.
















