වසර හතරක් පුරා ඇදී යන රුසියානු – යුක්රේන යුද්ධය නිමා කිරීම සඳහා වන නවතම සාකච්ඡා වටය අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී සෙනසුරාදා (21) ආරම්භ විය. අමෙරිකානු සහ යුක්රේන සාකච්ඡා කණ්ඩායම් අතර පැවැත්වෙන මෙම හමුව අද (22) ඉරිදා දිනයේදීත් අඛණ්ඩව පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ජිනීවා නුවරදී පැවැති සාකච්ඡාවලින් අනතුරුව, මෙවර සාකච්ඡා සඳහා රුසියානු නියෝජිතයන් සහභාගී වී නොමැති බව සඳහන් වේ.
යුක්රේන ප්‍රධාන සාකච්ඡාකරු රුස්ටම් උමේරොව් (Rustem Umerov) ප්‍රකාශ කර ඇති පරිදි, දෙපාර්ශ්වය අතර ද්විපාර්ශ්වික ලේඛන සකස් කිරීම සහ පුළුල් ඩ්‍රෝන යානා ගිවිසුමක් (Drone Deal) පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත. යුද්ධය නතර කර ප්‍රායෝගික ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා වන ඉදිරි පියවර පිළිබඳව දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ. යුක්රේන ජනාධිපතිවරයා ද පෙන්වා දෙන්නේ මෙම සාකච්ඡා වටය යුද්ධයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බවයි.














