මහ පාරේ නීති විරෝධී ලෙස සහ අනාරක්ෂිත අන්දමින් රිය පදවන රියදුරන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා අවධාරණය කරයි. විශේෂයෙන්ම ප්‍රධාන මාර්ගවල තරගයට රිය පැදවීම් සහ විනෝදය සඳහා සිදුකරන අනතුරුදායක රිය ධාවනයන් පිළිබඳව පොලීසිය මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
මහජනතාව විසින් ලබා දෙන සත්‍ය තොරතුරු සහ වීඩියෝ දර්ශන පදනම් කරගෙන නොහික්මුණු රියදුරන්ට එරෙහිව ක්ෂණිකව ක්‍රියාත්මක වීමට පොලීසිය සූදානම්ව සිටී. යම් නීති විරෝධී ක්‍රියාවක් සිදුවූ අවස්ථාවේම පොලීසිය එම ස්ථානයේ නොසිටියද, සීසීටීවී (CCTV) දර්ශන හෝ ජංගම දුරකථන මගින් පටිගත කළ දර්ශන වැනි තාක්ෂණික සාක්ෂි භාවිතා කරමින් පසුව වුවද අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට පූර්ණ බලය ඇත.
අධික වේගයෙන් රිය පැදවීම, මාර්ගවල තරගයට ධාවනය කිරීම සහ මෝටර් බයිසිකල් එක රෝදයෙන් ධාවනය කිරීම (Wheelie) වැනි අනතුරුදායක ක්‍රියාවල නිරත වන තරුණයින්ට සහ රියදුරන්ට කිසිදු සමාවක් නොලැබෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. වැරදිකරුවන් හඳුනා ගැනීමට සහ ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීමට පොලීසිය සතු නවීන තාක්ෂණික මෙවලම් උපරිමයෙන් භාවිතා කරන බව ද ඔහු අවධාරණය කළේය.
සියලුම බස් රියදුරන්, තරුණයින් සහ අනෙකුත් රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටින්නේ තමන්ගේ සහ අන් අයගේ ජීවිත අවදානමේ නොදමා සැමවිටම නීතිගරුකව රිය පදවන ලෙසයි. මහ පාරේ “සෙල්ලම් දමමින්” අන් අයට පීඩා කරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු පසුව ලැබුණද, විමර්ශන පවත්වා ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය පසුබට නොවන බව ද මෙහිදී ප්‍රකාශ විය.













