නගරාන්තර ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25%කින් ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) එකඟතාව පළ කිරීමත් සමඟ ක්‍රියාත්මක වූ ටැංකි රථ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට (28) සිට දිවයින පුරා ඉන්ධන ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය නිවේදනය කළේය.
පවතින ආර්ථික තත්ත්වය සහ මෙහෙයුම් පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කරන ලෙස ටැංකි රථ හිමියන් දිගින් දිගටම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. මෙම එකඟතාවත් සමඟ ඇති වූ ගැටලු නිරාකරණය වී ඇති අතර, ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීමේ කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට නියමිතය.
හෙට දිනයේදී මෙරටට ලැබීමට නියමිත නව ඉන්ධන නෞකාවත් සමඟ මෙම ප්‍රවාහන සේවා යථා තත්ත්වයට පත්වීම ඉන්ධන සැපයුම විධිමත් වීමට බෙහෙවින් ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














