27 April 2024
#දේශීය

ධාරාණිපාත වර්ෂාවෙන් කටු මැටි පැලක් ජලයෙන් යට වෙයි

පසුගිය දා ඇඳහැළුණු ධාරාණිපාත වර්ෂාවෙන් කටු මැටි පැලක් ජලයෙන් යට වී එම නිවස කඩා වැටීමේ අවධානමකට ලක්වීමෙන් පවුලක් අසරණ බවට පත්ව ඇත.

මෙලෙස අසරණ වී ඇත්තේ, එප්පාවල, කෝන්වැව, පරණ ගම්මැද්දේ පදිංචි දියණියන් තිදෙනෙකුගෙන් හා මවක පියෙකි.

පසුගිය බදාදා එප්පාවල ප්‍රදේශයට ඇඳ හැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ ගලා ආ ජලය මෙම නිවස තුළටද පැමිණ ඇත.ඒ හේතුවෙන් කටු මැටියෙන් තැනූ වසර 15 කට ආසන්න කාළයක් දිවි ගෙවූ කටු මැටි පැලෙහි බිත්ත සේදි කඩා වැටුණු බව නිවසේ පදිංචිව සිටි ආර්.කේ.ඒ දමයන්ති (42) මහත්මිය පැවසුවාය.

තම සැමියා වන එච්.එම් ධම්මික බංඩාර (42) යන අය කුලී වැඩ කර තම පවුලේ දිවි සරිකන බවත්, දියණියන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු ඇතුළු අනෙකුත් නිවසේ වියදම් පිරිමැසූ පසු,නිවස තනා ගැනීමට හැකියාවක් ‍නෙවුන නිසාවෙන් කටු මැටියෙන් තැනූ නිවසේ පදිංචිව සිටි බවද ඇය පැවසුවාය.

වයස අවුරුදු 10 ක් වන අමායා සම්මානී, වයස අවුරුදු 07 ක් වන ධනුජි අනන්‍යා, වයස අවුරුදු 04 ක් වන අධීෂා ගම්හානී යන දියණියන් තිදෙනා සමඟින් මෙම නිවසේ දිවි ගෙවූ බවත්, නිවස වර්ෂාවට කැඩීයාමෙන් ඉන්න හිටින්නට තැනක් නොමැතිව තමන් දැඩි සේ අසරණ වී සිටින බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

තම දියණියන් තිදෙනා සමඟින් නිදහසේ දිවි ගෙවීමට කැඩී ගිය තම නිවස සාදා ගැනීමට හැකි නම් උපකාරයක් කරන ලෙසත් ඇය වැඩිදුරටත් ඉල්ලා සිටින්නීය.

තම පන්තියේ සොයුරියක අසරණ වී ඇති බව දැනගත් එප්පාවල ශ්‍රී රාහුල විද්‍යාලයේ 02 වන ශ්‍රේණියේ සිසු සිසුවියන් ඊයේ (24) වියළි ආහාරය ද්‍රව්‍යයද රැගෙන එම නිවසට පැමිණියේ සහෝදරත්වයේ දෑත් දිගු කරමින්ය.

විද්‍යාලයේ 02 ශ්‍රේණියේ සියලුම පන්ති වල දරුවන්ගේ දෙමාපියන්ගේ දායකත්වයද මේ සඳහා ලැබී තිබිණි.

ඔබත් ඔවුන්ගේ කැඩී ගිය කටු මැටි පැළ වෙනුවට නව නිවසක් තනා ගැනීමට ඔබත් උපකාර කිරීමට කැමති නම් දුරකථන අංක 0702537134 අංකයෙන් එම පවුලේ අය සම්බන්ධ කර ගෙන වැඩි විස්තර ලබා ගැනීමේ හැකියාව ඇත.

ආර්.කේ.ඒ දමයන්ති නමින් එප්පාවල මහජන බැංකුවේ ඇති ගිණුම් අංක 170-2-001-5-0049857 ගිණුමට මුදල් බැර කිරීමෙන් ඔවුන් උදව් උපකාර කිරීමේ හැකියාවද ඇත.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *