27 April 2024
#දේශීය

ද්‍රවිඩ මන්ත්‍රිවරයෙක් ජාතිවාදය ඇති කරන්න උත්සහා කරනවා – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

ද්‍රවිඩ මන්ත්‍රිවරයෙකු ජාතිවාදි ගැටුමක් ඇති කිරීමට උත්සහ කර ඇති අතර නැවත ත්‍රස්තවාදය , ජාතිභේදය ඇති කර පැරණි තත්වයට රට ගෙන ඒමට උත්සහ දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා, “උතුරු නැගෙනහිර සමහර ද්‍රවිඩ මන්ත්‍රිවරු නැවත මේ රටේ ජාතිභේදය අවුස්සවලා රටේ නොසන්සුන්තාවයක් ඇති කරන්න ලොකු උත්සහයක යෙදෙනවා. තිලීපන්ගේ සැමරුම කියලා සැමරුමක් හදාගෙන ත්‍රිණාමලයේදී සෙල්වකුමාරන් ගජේන්ද්‍රම් කියලා මන්ත්‍රිවරයා ලොකු ආරවුලක් ඇති කරන්න උත්සහ කළා. නැවත ඒ ත්‍රස්තවාදය , ජාතිභේදය අවුස්සවලා පරණ තත්වයට ගේන්න ඕනකම තිබෙනවා. අපේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට පින් සිද්ධවෙන්න මේ රට මේ තත්වයට සාමකාමිව ගෙනල්ලා තිබෙන්නේ. ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ කාලයේ තමයි ජාතිවාදය පටන්ගත්තේ. ආර්.ප්‍රේමදාස ජනාධිපතිතුමාට බැරිවුණා ඒ කටයුත්ත කරන්න. ජිවිතය පවා පුජා කරන්න සිදු වුණා. මැති ඇමතිවරු, හමුදා නායකයෝ විශාල පිරිසක් ජිවිත පුජා කරලා, ඒ වගේම දේපළ විනාශ වුණා. මේ හැම දෙයක්ම නැවත ආරක්ෂා කරගන්න හැකි වුණේ අපේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා නිර්භීතව මේ තත්වයට මුහුණ දුන්න නිසා. අද උතුරට නැගෙනහිරට ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඒ තත්වයට හදලා තිබෙන රට නැවත විනාස කරන්නයි ඒ පිරිස හදන්නේ. ත්‍රස්තවාදයෙන් බැටකාපු ත්‍රිකුණාමල ජනතාවට මේ දේවල් පිළිබඳව අමතකවෙලා නැහැ. මේවට වගකියන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය කතා කර කර මේ ත්‍රස්තවාදයට උඩගෙඩි දුන්න ඔය නායකයෝ තමයි ඉතිහාසයේත්, වර්තමානයෙත් වගකියන්න ඕන. මේ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ වගේ ද්‍රවිඩ මන්ත්‍රිවරුන්ට ජාතිවාදය පතුරවන්න එපා. අද පාර්ලිමේන්තුවේ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ මන්ත්‍රිවරු 225 ම එකට ඉඳගෙන සාකච්ඡා කරනවා, විවාද කරනවා. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. නමුත් පාර්ලිමේන්තුවෙන් එළියට ගිහිල්ලා මේ වගේ උද්ඝෝෂණ , ජනතාව අවුස්සන දේවල් කිරීම ඉතාම වැරදි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ ජාතිවාදය පැතිරවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා තිබෙනවා. මේ වගේ දේවල් කරන කොට නීතියෙන් දඩුවම් දියයුතුයි. මේ රට ප්‍රධාන වශයෙන් බංකොලොත්බාවයට පත්වෙන්න සිදුවුණේ එදා 71 කැරැල්ල, 88 – 89 කැරැල්ල සහ අවුරුදු 30 ක් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය නිසා. පළමු දෙය ඒකයි. නැවතත් මේ වගේ දේවල් අවුස්සලා තවත් අවුරුදු 30 ක් මේ රට පිටුපසට රැගෙන යන්න හදන තිලීපන් සැමරුම් මුල්කරගත්ත, ඒ වගේම සෙල්වකුමාරන් ගජේන්ද්‍රම් වගේ පිරිස නැවත මේවට අවතීර්ණ වීම වහාම නැවැත්විය යුතුයි. සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව එකතුවිය යුතුයි. එක් එක් නායකයන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් ඉටුකරගන්න බොලඳ වැඩ කිරිම නැවැත්විය යුතුයි. පහුගිය කාලයේදී විශාල නියඟයක් ඇතිවෙලා සමනළ වැවෙන් ජලය ගැනීමට නොහැකිව කුඹුරු අක්කර දහස් ගාණක් විනාශ වුණා. ඒ වගේම උතුරු මැද පළාතේ සහ තවත් පළාත් කිහිපයක පැවති දරුණු නියඟය නිසා විශාල වශයෙන් වගා හානි සිදුවුණා. මේ විනාශවෙලා ගිය දේවල් සඳහා වන්දි ගෙවන්න රජය කටයුතු කරගෙන යනවිට දැන් නැවත වර්ෂාව වැඩිවෙලා ගංවතුර නිසා අද වන කොට ආධාර ගෙවන්න සිදුවෙලා තිබෙනවා. මේවා ස්භාවික විපත්. කාටවත් නවත්වන්න බැහැ. කෙසේවෙතත් රජයක් හැටියට නියඟයට හසුවෙච්ච ගොවිජනතාව සහ ගංවතුරෙන් හානිවෙච්චි ජනතාව පිළිබඳව සැළකියයුතු වන්දියක් ගෙවලා ඒ පිරිසට සහන ලබාදෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *