17 May 2024
#දේශීය #පුවත්

ඊළඟ මැයි දිනයේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්.. – අනුර දිසානායක

දූෂිත ප්‍රභූ තන්ත්‍රය යටතේ පවත්වන අවසාන මැයි රැලිය මෙය බවත් ඊළඟ මැයි දිනයේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ හමුවෙමු යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසු‍වේ ඊයේ (01) කොළඹ පැවැති මැයි රැළිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල අනුර කුමාර දිසානායක මහතා ” අද ඉතාමත්ම තීරණාත්මක මැයි දිනයක්. මෙය දූෂිත ප්‍රභූ තන්ත්‍රය යටතේ පවත්වන අවසාන මැයි දිනය බව අපි හිතනවා. සැප්තැම්බර් 17ට පසු ඔක්තෝබර් 17ට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීම සඳහා සියලු සැලසුම් අපි සකස් කර අවසන්. 2025 මැයි දිනය පවත්වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේයි. කොළඹ මැයි දිනය පැවැත්වීමට ජාතික ජන බලවේගයට ඉඩමදි බව අපට තේරුණා. සාමාන්‍යයෙන් අපි යාපනයේ පවත්වන මැයි දිනයට අමතරව අනුරාධපුරය සහ මාතර, කොළඹ ප්‍රධාන මැයි දින තුනක් පවත්වන්න සැලසුම් කළා. මාතර, කොළඹ, අනුරාධපුරය සෑම තැනම එකම එක හිස් ගොඩක් බවට පත්කරමින් මහා ජන ගඟක් ජාතික ජන බලවේගයේ මැයි දිනයට සහභාගී වී සිටිනවා.

මැයි දිනය පවත්වන්නේ අපි විතරක් නොවෙයි. චැතම් වීදියේ පවත්වන සමගි ජන බලවේගය වේදිකාවේ මහින්ද රාජපක්ෂගේ හිටපු ඇමති ජී.එල්. පීරිස්, ගෝඨාගේ ඇමති නාලක ගොඩහේවා, රනිල්ගේ හිටපු ඇමති සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, කිරිඇල්ල, රාජිත ආදී කට්ටුවක් ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේනගේ හිටපු ඇමති ඩිලාන් පෙරේරාත් ඉන්නවා. කැම්බල් පිටියට ගියොත් මහින්ද රාජපක්ෂ, එයාගේ ආණ්ඩුවේ ඇමති බැසිල් රාජපක්ෂ, ගෝඨාගේ ආණ්ඩුවේ ඇමති නාමල් රාජපක්ෂ, සහ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ඇමති ප්‍රසන්න රණතුංග එතන ඉන්නවා. කංකං බූරු අල්ලලා දෙපැත්තට බෙදුණාද දන්නේ නැහැ. මාලිගාවත්තට ගියොත් එතන මෛත්‍රීපාල සිරිසේනගේ ඇමති හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, රනිල්ගේ ආණ්ඩුවේ හිටපු රවි කරුණානායක, ඇතුළු ඇමතිලා ඉන්නවා. එකම කට්ටිය ගල මල අල්ලලා වේදිකාවලට බෙදී ගිහින්. කිරුලපන පැත්තේ අනාථනාතලාත් ඉන්නවා. ඔවුන් සියලු දෙනා ස්ථාන හතරක ඉන්නකොට ජාතික ජන බලවේගයේ අපි පමණක් ස්ථාන හතරක මේ රට වෙනස් කිරීම සඳහා ඒකමතිකව, එකමුතුව, එක්සත්ව බලවේගයක් ලෙස පෙළගැසී සිටිනවා. ලංකාවේ පළමු වතාවට පොදු ජනතාව අතට බලය මාරුවීම සඳහා කටයුතු යෙදෙමින් තිබෙනවා. ඒ නිසා දූෂිත පාලක ප්‍රභූ පංතිය කලබල වී, අන්දමන්ද වී සිටිනවා.

ස.ජ.බ.ය කියලා කියන්නේ අපරිණත, ළදරු කණ්ඩායමක්. උදේ සවස ඇඬියාව බලාගෙන ඉන්න බැහැ. මැයි දිනයට අපි ඉල්ලූ තැන අපිට දුන්නා කියලා ඇඬියාව. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ සහ ජ.වි.පෙ. අතර ඩීල් තිබෙනවා කියලා ඇඬියාව. දැන් මාසයක් තිස්සේ විවාද විවාද කියමින් ඇඬියාවක්. අපි විවාදයට විධිමත්ව කටයුතු කරමින් නලින්ද ජයතිස්ස සහෝදරයා සම්බන්ධීකාරක ලෙස පත්කර, ස.ජ.බෙ. මහා ලේකම්ට දින හතරක් දැනුම් දී ලියුමක් යැව්වා. මැයි 07, 09, 13, 14 දිනවලින් එක බැගින් විවාදය පවත්වන්න සුදුසු දිනයක් තෝරා දන්වන ලෙසත්, ඊට පසුව විවාදය පවත්වන ආකාරය සාකච්ඡා කරමු කීවාම, ඒ දින හතරම වැඩලු. අපි ඒ ආකාරයෙන් කටයුතු කරන කොට එයා මොනරාගල පැත්තේ පාසලක ප්‍රාථමික අංශයේ ළමුන් වටකරගෙන “අපි විවාදයට බය නෑ, නිවටයෝ වගේ පැනලා යන්නේ නෑ, මම ඕනම විවාදයකට ලැහැස්තියි” කියනවා. කනත්ත ගාවින් යනකොට, වැඩිම බයකෙනා හයියෙන් කෑ ගහනවා වගෙයි. මේ විවාදය ගැන මම වේදිකාවක කතා කරන පළමු අවස්ථාව මේක. මේ විවාද ලෙඩේ ඉවර කරන්න ඕනෑ. නලින්ද ජයතිස්ස සහෝදරයා පසුගිය 24වැනිදා කීවා මැයි 20දාට පෙර දිනයක් දන්වන ලෙස. නිශ්චිතව ගනුදෙනු කරමු. අපි කිවූ දින හතරට බැරි නම්, ඔවුන්ගෙන් දිනයක් ඉල්ලුවා. ඒ අයට ඒ අයගේම වූ දේශපාලන න්‍යාය පත්‍රයක් නැහැ.

ජාතික ජන බලවේගයේ අපි, අප වෙත පවතින ජනතාවගේ කැමැත්ත මහජන බලයක් බවට පත්කිරීමේ සැලසුම් සකස් කර, ක්‍රියාත්මක කළා. අපි නිවැරදිව ගම සංවිධානය කළා. මෙතන සිටින බොහෝ දෙනෙක් කොට්ඨාස සභාවක සාමාජිකයන්. අපේ රටේ කාන්තාවන් දේශපාලනය සම්බන්ධයෙන් අඩු උනන්දුවක් තිබෙන අය නිසා, දේශපාලන පරිවර්තනයකට ඒ අයව සහභාගී කර ගැනීමට කාන්තා සභා ගොඩනඟා දිස්ත්‍රික් සමුළු පවත්වා වැඩේ තිතට කළා. ලංකාවේ සංවිධානාත්මකම කාන්තා ව්‍යාපාරය ජාතික ජන බලවේගයෙන් ගොනඟා තිබෙනවා. ඒ වගේම අපේ රටේ අධිකරණවලින් 80%කට වැඩි ප්‍රමාණයක ජාතික ජන බලවේගයේ නීතිඥ සංවිධාන පිහිටුවා අවසන්. ඉංජිනේරුවන් ආයතනික මට්ටමින් සහ දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධානය කර, ජූලි 01වැනි දින ඔවුන්ගේ සමුළුව පවත්වනවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය ජනරාල්වරුන්ගේ සිට සාමාන්‍ය සොල්දාදුවා දක්වා ප්‍රබලතම ලෙස ගොඩනඟා තිබෙනවා. ඒක කොපි කරලා සජිත් හදපු එකේ ප්‍රධානියා ගැන ෆොන්සේකා මහත්තයා කීවේ හාල් හොරකම් කිරීම නිසා අයින් කළ කෙනෙක් කියලා. අපේ රටේ ශිෂ්ටාචාරය සහ ඉතිහාසය තුළ විශාල කාර්යභාරයක් ඉටුකළ හාමුදුරුවන් වහන්සේලා සමග සාකච්ඡා කරමින් විශාලතම භික්ෂු ව්‍යාපාරය ගොඩනඟා ජූලි මාසයේ අග වන විට දැවැන්තම භික්ෂු සමුළුව පවත්වන්න සූදානම් කර තිබෙනවා. අනෙකුත් පියතුමන්ලාත්, කුරුක්කල්තුමන්ලාත් සමග සාකච්ඡා කරමින් සිටිනවා. මේ අනුව ජාතික ජන බලවේගය ඉතාමත්ම සංවිධානාත්මක බලවේගය ලෙස අප විසින් ගොඩනඟා තිබෙනවා.
අපි අපේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව වැඩකරමින් ඉඳහිට අනෙක් අය ගැන කරුණු ටිකක් කියනවා. අනෙක් වේදිකාවල නිතරම අපි ගැන කියන අතර, ඒ ගොල්ලෝ ගැන එකක් දෙකක් කියනවා. ඒගොල්ලොන්ට ඒගොල්ලෝ ගැන කියන්න දෙයක් නැති නිසා අපි ගැනම දොඩවනවා. ලංකාවේ මුළු දේශපාලනයම ජාතික ජන බලවේගය කේන්ද්‍රගතකොට ගෙන හසුරුවන්න අපි සමත් වෙලා තිබෙනවා. රට ගැන විශාල ලෙස බලාගෙන ඉන්න විදේශගත ප්‍රජාව ආමන්ත්‍රණය කරන්න ඔවුන් යන්නේ නැහැ. නිව්යෝර්ක් ගිහින් හාල් බෙදලා සෙනග ගේන්න බෑනේ! ඒ හැර අනෙක් සියල්ල අපේ පිටුපසින් එන දේශපාලනයක් වෙලා තිබෙනවා. ජයග්‍රාහී පියවරකට ජාතික ජන බලවේගය ඔසවා තබමින් ලංකාවේ දේශපාලනය සම්බන්ධ ප්‍රබලම භූමිකාව ඉටුකරමින් සිටිනවා. විශ්‍රාමික පොලිස් සාමූහිකය ජූනි මාසයේ දෙවැනිදා ජ්‍යේෂ්ඨ විශ්‍රාමික පොලිස් ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන්න සැලසුම් කර තිබෙනවා.
තව මාස තුනකින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කෙරෙනවා. දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණ සමග ක්‍රියාකාරීව සිටිමින් 1995 සිට මැයි දිනවලට සහභාගී වූ අය ඉන්නවා. පැරණි අම්මලා, තාත්ලා, සහෝදර සහෝදරියන් අවලාද දරාගනිමින් 3%ට අඩුවෙන කොට ඉවසාගෙන මෙය ඔසවාගෙන සිටියා. ඒ ගෞරවය, ප්‍රණාමය ඒ සහෝදර සහෝදරියන්ට තිබෙනවා. අපට ජයග්‍රහණය සඳහා යන්න එය පමණක් ප්‍රමාණවත් නැහැ. අනෙක් පක්ෂවලට ඡන්දය දුන්, අනෙක් පක්ෂවලට වැඩ කළ, පිරිස අප ළඟට එන්න ඕනෑ. මෙතන ඉන්න ලක්ෂ සංඛ්‍යාත පිරිස දෙස බැලුවාම 2019 දී අපට ඡන්දය නොදී අනෙක් අයට ඡන්දය දුන් විශාල පිරිසක් ඉන්නවා. පැරණි, අපි අල්ලාගෙන සිටියා වැනි පරවේණි උරුමක්කාරකම කියනවා වෙනුවට වර්තමානයේ ජීවත් වෙන්න ඕනෑ. මේ රටට නව යුගයක් උදාකිරීම වෙනුවෙන් ලංකාවේ ප්‍රබලම මහජන ව්‍යාපාරය ගොඩනඟන්න ඕනෑ. ජාතික ජන බලවේගය යනු අනේ පක්ෂවලට විරුද්ධ පක්ෂයක් නොවෙයි. ඒ වගේම පුද්ගලයෙකුට එරෙහිව ගොඩනඟන ලද ව්‍යාපාරයකුත් නොවෙයි. සියලු ජන කණ්ඩායම් නියෝජනය කරමින් මේ රට ගොඩනඟන මහා ජනතා ව්‍යාපාරය මේකයි. පරණ පක්ෂ කෝන්තර, අදහස්, පැරණි මති මතාන්තර පරණ කුණු ඔක්කොම පැත්තකට දාන්න ඕනෑ. නූතන ශ්‍රී ලංකාවේ නව පුනරුද යුගය නිර්මාණය කරමින් ලෝකයත් එක්ක ඉස්සරහට යන්න අපි සූදානමින් සිටිනවා.

සමහර අය ගණිතයෙන් කියනවා 3%, 51%කට වෙන්නේ කොහොමද කියලා. ලක්ෂ තුන හමාරක් හතරක් තිබුණු ඡන්ද ලක්ෂ හැත්තෑව වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න කරනවා. ඊට වඩා සජිත් කිට්ටු බව කියනවා, දේශපාලනය කියන්නේ වීජ ගණිතය නොවෙයි. දේශපාලනය කියන්නේ සමාජ විද්‍යාවක්. දේශපාලනය කියන්නේ වීජ ගණිතය නම් ලක්ෂ 69ක් ගත් ගෝඨාභය තවමත් ජනාධිපති වෙන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ 2/3ක් ගත් මහින්ද තවමත් අගමැති වෙන්න ඕනෑ. අද ඒගොල්ලෝ වේදිකාවේ කියන්නේ පස්වන විධායක ජනාධිපති කියලයි. දේශපාලනය වෙනස් වෙන්නේ, අනුක්‍රමිකව නොවෙයි, පිමි ලෙස. ජාතික ජන බලවේගය අද සැදී පැහැදී ඉන්නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම ගන්නයි. ඕනෑම සංවිධානයක් කරන සමීක්ෂණවලදී ජාතික ජන බලවේගය උඩින් ඉන්නවා. සමීක්ෂණ පැත්තක තිබබත් ත්‍රීවිල් එකකට නැග්ගාම, වෛද්‍යවරයෙක් ළඟට බෙහෙත් ගන්න කියාම, නීතිඥ මහත්තයෙක් ළඟට නඩුවක් අරගෙන ගියාම, කඩේකට බඩුවක් ගන්න කියාම, බස් එකේදී අල්ලපු ෂීට් එකේ එක්කෙනා කතා කරන්නෙත් මාලිමාව ගැන. උඩ තිබෙන සමීක්ෂණ පැත්තක තැබුවත් පොළොවේ තිබෙන යථාර්ථයෙන් පෙන්වන්නේ ජයග්‍රහණය කරා ළඟා වෙමින් තිබෙන බවයි.
ජයග්‍රහණය හෙල්ලෙන දතක් වගේ අරගෙන ප්‍රමාණවත් නැහැ. ලෝකයේ විශාල පරිවර්තනයන් ඇති කළේ ශක්තිමත් ආණ්ඩු. ලෝකයේ කුමන හෝ රටක නව පරිවර්තනයක් සිදුවී තිබෙනවා නම්, ඒ පරිවර්තන සිදුකර තිබෙන්නේ බලවත් ශක්තිසම්පන්න ආණ්ඩුවලින්. අපි පොඩි වැඩකට අතගහන්න නොවෙයි මේ එන්නේ. අවුරුදු 76ක් ගමන් කරමින් තිබෙන පාර වෙනස් කිරීමටයි එන්නේ. අවුරුදු 76ක් පුරා ඇබ්බැහි වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. ඇබ්බැහි වුණු ජනතාවක් ඉන්නවා. පුරුද්දට ඇබ්බැහි වුණු සමාජයක් තිබෙනවා. මේ පාරේ යන්න මෙහෙයවීමක් අවශ්‍ය නැහැ. පුරුදු පාරේ යනවා. මෙය පරිවර්තනය කිරීමට නම්, පළමු කොටම සාතිශය බහුතරයක් ජනතාවගේ අනුමැතියක් අවශ්‍යයි. ශක්තිමත් මහජන බලයක් අවශ්‍යයි. ඉදිරි මාස තුනේ ගෙයින් ගෙට යන්න. හැම පුරවැසියෙක්ම හමුවෙන්න. රටට සිදුකර තිබෙන විනාශය කියලා දෙන්න. මේ තත්වය වෙනස් කීරීම සඳහා ජාතික ජන බලවේගයට තිබෙන වැඩපිළිවෙළ පැහැදිලි කර දෙන්න. ගම් පිටින් මාලිමාව ජයග්‍රහණය කරවීම සඳහා පොරබදන සමාජයක් නිර්මාණය කරන්න. අනුරාධපුරයේත්, කොළඹත්, මාතරත්, යාපනයේත් සියලුම දෙනා එක් කළ විට ලක්ෂ තුනකට වැඩියි. ප්‍රබලතම විහිදුම් බලකාය මේක.

අපි වෙනස් කරන්නේ සාම්ප්‍රදායික දේශපාලනය. තරුණ පරපුරට සාම්ප්‍රදායික දේශපාලනය තිත්ත වී තිබෙනවා. පවුල් පිටින් දේශපාලනයට එන ක්‍රමයක් තිබෙන්නේ. පුතාලා, නෝනලා, මල්ලිලා ඒ වේදිකාවල ඉන්නවා. මාලිගාවත්තේ සිංදු කියන්න ඉන්දියාවෙන් කට්ටිය ගෙනාවා. ඒ අනුව රනිල්ට ඡන්දය දාන්නත් ඉන්දියාවෙන් ගේන්න වෙනවා. මේ වේදිකාවේ අපි කවුරුත් පවුලේ උරුමයෙන් දේශපාලනය ගෙන ආ අය නොවෙයි. දේශපාලන වේදිකාවට ගොඩනොවැදුණු සම්පත් තුයියකොන්තා වගේ ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිලධාරීන්, වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීයවේදීන් හැම කෙනෙක්ම වේදිකාවට එනවා. මානව හැඟීමක් තිබෙන ඕනෑම කෙනෙකුට විවෘත වුණු පුළුල්තම වේදිකාව තමයි ජාතික ජන බලවේගයේ වේදිකාව. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් සොරකම් කරන දේශපාලනය නතර කරන්න ඕනෑ. ඔය වේදිකා තුනට ගියොත් වීසි දැලක් දාලා හොරු අල්ලන්න පුළුවන්. චැතම් වීදියට ගියොත් කිරිඇල්ල, සජිත්, ඇලෝසියස් සල්ලි අරගෙන පොත් ලියපු කෙනා ඇතුළු ඔක්කෝම අහුවෙනවා. මාලිගාවත්තට ගියොත් මහ බැංකුව කඩපු අයගේ ඉඳලා ඔක්කොම වීසි දැලට අහුවෙනවා. කැම්බල් පිටියට ගියොත් පවුලේ ඔක්කොම අහුවෙනවා. මහජනයාගේ ධනය කොල්ල කන සාම්ප්‍රදායික දේශපාලනය වෙනස් කර, එම ධනය සාංඝීක දේපොළක් වගේ ආරක්ෂා කරන නව දේශපාලන සංස්කෘතියක්, සම්ප්‍රදායක් අපි ගෙන එනවා.
මේ ආර්ථිකයෙන් රට ඉස්සරහට යන බව ඔවුන් හැමදාමත් කීවා. අපි දශක ගණනාවක් තිස්සේ කීවේ මේ ආර්ථික ගමනෙන් රටට විනාශයක් අත්වෙන බවයි. ජනතාව ඒක ඒ විදිහටම තේරුම් ගත්තේ නැහැ. ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් ඇවිල්ලා සිංගප්පූරුවක්, මැලේසියාවක් බවට පත්කරයි කියලා සිතුවා. 2022 වෙන කොට ණය ගෙවා ගන්න බැරිව බංකොලොත් රටක් බවට නිල වශයෙන් ප්‍රකාශ කළා. අන්තිමේදී දරුවෝ හැම කෙනාම පාස්පෝට් කාර්යාලයේ නිදි මරාගෙන ඉන්න තත්වයට පත්වුණා. රට දාලා යන්න හැම අතින්ම බලකෙරෙන මට්ටමක් ඇති වුණා. නිෂ්පාදනය ආර්ථිකය කඩා වට්ටා, බිත්තරත්, පොල් ටිකත්, මුකුණුවැන්න ටිකත්, හාල් ටිකත්, හරකබානත්, රටින් ගේන මට්ටමට පත්කළා. රෙදිපිළි, කඩදාසි, නව කාර්මික නිෂ්පාදන සිදු නොකරන බංකොලොත් රටක් හැදුවා. රටේ සම්පත් විකුණමින් අවුරුද්දක් ගෙවා ගන්නා ආර්ථිකයක් නිර්මාණය කළා. පැරණි වලව්වල සිටි නසරාණි පුත්තු වගේ ක්‍රියා කළා. අන්තිමේදි අද යුක්රේනය, රුසියාව යන රටවල් දෙකම ලංකාවෙන් කුලී හමුදාවලට සෙබළු ලබාගන්න තත්වයට පත් කළා. මහා මිනිස් ඝාතන සිදවෙන රටවල් දෙකක් අතර යුද්ධයකදී කුලී හමුදාවන් ලෙස බැඳෙන ලාංකිකයන් නිර්මාණය කළා.

අපරාධවලින් පිරුණු රටක් නිර්මාණය කර තිබෙනවා. මත්ද්‍රව්‍ය රට පුරා ව්‍යාප්ත කර, කාන්තා හිංසනය, ළමා හිංසනය වැඩිකර තිබෙනවා. 2022 අවුරුද්දේ අලි 439ක් මරා දාලා සතා සිවුපාවෙකුටවත් ඉන්න බැරි රටක් හදා තිබෙනවා. කඳුකරය විනාශ කර, දිය උල්පත් සිඳී, ගංගා පතුල් හාරා අද මුහුදු වතුර දැදුරු ඔයෙන් ගොඩබිමට එනවා. අවට ප්‍රදේශ ලවණ වතුරෙන් පිරිලා විනාශ කර තිබෙනවා. නායයෑම් සක්‍රීය වී මුළු රටම විනාශ වෙන පද්ධතියක් තිබෙන්නේ. කුලී හමුදාවලට බැඳිලා යුද්ධ කර ගන්න තරුණයන්ට බලකරන රටක් තුළ මේකෙම සජිත් ප්‍රේමදාසලා ඔරු පදිනවා. ඒ ඔරුවට රවි කරුණානායකලා තල්ලුව දෙනවා. අපි බලය ඉල්ලන්නේ මේ ගහගෙන යන ගංවතුරේ ප්‍රති විරුද්ධ දිසාවට ඔරු පදින්නයි. රනිල් වික්‍රමසිංහයි, හර්ෂ ද සිල්වායි කියන්නේ ගුරයි ගෝලයයි. මේ ගොල්ලෝ අලුත් කට්ටියක්ද, 2015-2019 ආණ්ඩුවේ ආර්ථික කමිටුවේ එරාන් වික්‍රමරත්න, හර්ෂලා එකට හිටියා. මේක අලුත් ආර්ථික කමිටුවක්ද? අපි ලැහැස්ති වෙන්නේ රටට නව ආර්ථික උපායමාර්ගයක් ගේන්නයි. නැවත කාර්මික යුගයකට රට පරිවර්තනය කරන්න අපි ලැහස්තියි. ඒ සඳහා ප්‍රාග්ධනය, තාක්ෂණය, අමුද්‍රව්‍ය, නිපුණතාවය සහිත ශ්‍රම බලකායක් ඕනෑ. ඒ නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණීම සඳහා ශක්තිමත් වෙළඳපොළක් ඕනෑ. මේ අධ්‍යාපනය තවදුරටත් යහපත් පුරවැසියෙකු බිහිකරන අධ්‍යාපනයක් නොවෙයි. දරුවන්ට බරක්, දරුවන්ට කරුමයක් වුණු අධ්‍යාපනයක්, ඒ වගේම අම්මාටත් බරක්. අම්මාගේ බරෙනුත්, දරුවාගේ බරෙනුත් නිදහස් කරගත් ලෝකයක් එක්ක පෙරට යන දැනුම් සම්භාරයක් සහිත අධ්‍යාපනයක් හඳුන්වා දෙනවා.

අපේ මුළු කෘෂිකර්මාන්තයම කාබාසිනියා කරලා. එයට නැවත පණ දෙන්න ඕනෑ. නාවික කර්මාන්තයෙන් රට ඉදිරියට ගෙන යන්න ආර්ථික සැලසුම් දියත් කරන්න ඕනෑ. ආර්ථිකයට සම්බන්ධ නොකළ මිනිසු දූවිලි බවට පත් කළ අය ඉබාගාතයේ එහෙ මෙහෙ ඇවිදිනවා. ආර්ථිකයෙන් පිටමං කරලා තියෙන්නේ. අපි යෝජනා කරන්නේ ගොවි ජනතාව, ධීවර ජනතාව, තරුණ පරම්පරාව, ආර්ථිකයට සම්බන්ධ කර ගන්නා නව ක්‍රියාමාර්ග දියත් කරනවා. ආර්ථිකයෙන් ලබා ගන්නා ඵල සාධාරණ ලෙස ජනතාව අතර බෙදෙන්න ඕනෑ. සමාන ලෙස නොවෙයි. වැඩකරන කෙනාට සාධාරණ පංගුවක් ලැබෙන්න ඕනෑ. අද ආර්ථිකය ඉතා අතළොස්සක් අතට සංකේන්ද්‍රණය කොට තිබෙනවා. එය ප්‍රසාරණය කරන්න ඕනෑ. ඒ තුළ කර්මාන්තකරුවන් අලුත් ව්‍යවසායකයන් ඉදිරියට ඇවිත් තරුණ තරුණියන්ට රස්සාවල් ලැබෙනවා. ඒ ආර්ථිකය තුළ පුරවැසියන්ට නිරෝගී සම්පන්න ජීවිතයක්,හොඳ ප්‍රවාහන සේවයක්, ලබාදෙනවා. වැඩිහිටියන් ආබාධ සහිත පුරවැසියන් සමාජ වගකීමක් ලෙස බලා ගන්නවා. අපේ ආණ්ඩුවක් යටතේ පළමු කොටම ආහාර, සෞඛ්‍ය සහ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් සහතික කරනවා. අපි එන්නේ මේ ගහගෙන යන පාරේම ගහගෙන යන්න නොවයි. මේ ගහගෙන යන ගඟේ කඩදාසි ඔරු අරින්න පුළුවන් සජිත් ප්‍රේමදාසට. වෙන මොකවත් කරන්න බැහැ. නමුත් අපි එන්නේ මෙය සම්පූර්ණයෙන්ම අලුත් දිසාවකට හරවන්න. නව දේශපාලන සංස්කෘතියක් නව ආර්ථික ගමනක් සහෝදරත්වය, ළෙන්ගතුකම පිරුණු සමාජයක් ගොඩනඟන්න. අපි අත ගහන්නේ හුදු ජනාධිපති පුටුවේ වාඩිවෙන්න ආණ්ඩුවක් හදන්න නොවෙයි. අපි අත ගහන්නේ නව පුනරුද යුගයක් බිහි කරන වැඩකට.

රනිල් වික්‍රමසිංහ අත ගහලා තිබෙන්නේ හාල් දීලා ඡන්දෙ ගන්න, පැරණි සම්ප්‍රදායට. ලයිට් බිල, වතුර බිල අඩුකර, කඳුකර ජනතාවගේ පඩිය ටිකක් වැඩිකර ඡන්දය ගන්න උත්සාහ කරනවා. ඒක දේශපාලනය නොවෙයි, කප්පම්, අල්ලස් දීමක්. සජිත්ලාට, රනිල්ලාට නූතන දේශපාලනයක් නැහැ. සජිත් ප්‍රේමදාස ළඟකදි කීවා සිස්ටම් චේන්ජ් කරන්න බලය ඕන නෑ කියලා, විපක්ෂයේ ඉඳන් කරනවාලු. එහෙම නම් ඉතිං විපක්ෂයේම තියමු. පැරණි දේශපාලනය ප්‍රතික්ෂේප කර, ජෝගි නටන මැයි දිනය අපි රට වෙනස් කිරීමේ තීරණාත්මක කඩඉමක් බවට පත්කර ගන්නවා. වැඩකරන ජනතාව නියෝජනය කරන එකම මැයි දින වේදිකාව ජාතික ජන බලවේගයේ වේදිකාව විතරයි. විශේෂයෙන්ම ගොවි ජනතාවගේ මහා ජන පෙළගැස්ම අද අනුරාධපුරයේදී සිදු වෙනවා. මහා ධීවර ප්‍රජාවක් ප්‍රමුඛව විශාල පිරිසක් මාතරට එක්වී සිටිනවා. කොළඹදී මේ රට ගොඩනඟන වැඩකරන ජනතාව ප්‍රමුඛව රොද බැඳගෙන සිටිනවා. අපි කියන්නේ සජිත් ඔයා විපක්ෂයේ ඉඳගෙන සිස්ටම් චේන්ජ් කරන්න. අපි බලය ලබාගෙන හොරකම, නාස්තිකාර දේශපාලනය, කප්පම් අල්ලස් දේශපාලනය, පවුල් දේශපාලනය නතර කර, නීතියේ විධානය ආධිපත්‍යය පිහිටුවා නව ආර්ථික ගමනක් යන්නම්. ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්කර තිබෙන රට කීර්තිමත් තත්වයට පත්කරන්න බලය ඕනෑ. සජිත්ලාට, රනිල්ලාට හාල් බෙදන්න බලය ඕන නැහැ. මුදලාලි කෙනෙක් හිටියොත් ඇති. ඒගොල්ලෝ කරන්නේ බෙදන දේශපාලනය. ජාතික ජන බලවේගය මේ රට ගොඩනඟන නව පුනරුද යුගයකට ගෙන යන දේශපාලනයක් කරනවා.

මහා සුනාමි ව්‍යසනයෙන් විනාශ වුණේ පෑරලිය කෝච්චි පාර දවස් 57න් හැදුවා. ගාල්ල බස් නැවතුම්පොළ හැදුවා. කඳවුරුවල හිටි අයගේ දරුවන් වෙනුවෙන් ළමා මධ්‍යස්ථාන හැදුවා. අපේ වෛද්‍යවරු මානසික සායන පැවැත්වූවා. ඒ ව්‍යසනයෙන් ජනතාව ගොඩගැනීම සඳහා අපි කඳවුරු හැදුවා. පස්සේ ගෙවල් හැදුවා. මහා ගංවතුරවලදී ළිං ටික ඉස්සා. ගෙවල් හැදුවා. කුසගිනි නිවන්න ආහාර බෙදුවා. ලෝකයටම බලපෑ කොවිඩ් වසංගතයේදී සමහර රෝහල්වල ගොඩනැගිලි හැදුවා. ආබාධිතයන්ට පහසුකම් දුන්නා. ආහාර බෙදා දුන්නා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පහසුකම් සලසා දුන්නා. නමුත් එය අපේ සමස්ත දේශපාලනය නොවයි. ජනතාව ව්‍යසනයට පත්වූ ඕනෑම තැනකදී ජාතික ජන බලවේගයේ අපි කඳවුරු බැඳගෙන මැදිහත් වුණා. දැන් තීරණාත්මකව බලය ගැනීම සඳහා මැදිහත් වෙන්න ඕනෑ. සමහර අය කියනවා රනිල් ඒකටත් මොකක් හරි ගැටයක් ගහයිද දන්නේ නැහැයි කියලා. රනිල්ට ගහන්න වෙන්නේ අමුඩ ගැටය විතරයි. අපි නොදන්නා රනිල්! 2002 ආණ්ඩුව හැදුවා. 2004 දී ගෙදර යැව්වා. 2015 මෛත්‍රී එක්ක ආණ්ඩුවක් හැදුවා. 2018 ගෙදර යැව්වා. අපි එදා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැදිහත් වුණු නිසා යාන්තම් හුස්ම ටිකක් ගත්තා. ඩී.එස්.ලා, කොතලාවලලා, ගොඩනැගූ පක්ෂය 2019 වෙනකොට එකට බැස්සුවා. එයා ජනාධිපතිවරණයෙන් පැරදී අකුළාගෙන ගෙදර යනවා. අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න සැලසුම් සකස් කර තිබෙනවා. අපි අමාත්‍යාංශ 25ක් නම්කර, අලුත් කැබිනට් මණ්ඩලයක් පත්කර, අලුත් ලේකම්වරු 25 දෙනෙකු පත්කරනවා. ආරක්ෂක ලේකම් වෙන්නේ කවුද, වංචා හා දූෂණ සොයන්න කොමිසමට පත්කරන්නේ කවුද, වශයෙන් මූලික සැලසුම් කරලා තිබෙන්නේ. පළමු පැය 24 ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. පළමු වටයේ රනිල් ගෙදර, දෙවන වටයේ ඔක්කෝමලා ගෙදර.

ඉතාමත් අසීරු කාලය අපි පසුකළා. අවලාදවලට මුහුණ දුන්නා. මහජනයාගේ ධනය සොරකම් කළ අය කලබල වෙන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහලා 1977 බලය අරගෙන දේශපාලන පළිගැනීම් සිදුකර, 1980 ජූලි වර්ජකයන් එළියට දාලා, සංවර්ධන සභා ඡන්දය කොල්ල කන්න යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. කෝට් එක ඇඳගෙන ටයි එක දාගෙන ඉන්න රනිල්ගේ ටයි එක ලේවලින් සෝදලා තියෙන්නේ. ‘බටලන්ද ගිනිලෑම’ බලන්න. විධායක ජනාධිපති ධුරය හැදූ රනිල්ලා ව්‍යවස්ථාව වෙනස් කරමින් එන කොට තමන්ගේ ජීවිත කාලය ඇතුළත දූෂිත ප්‍රභූ පෙළැන්තිය අභියෝගයට ලක්වෙයි කියලා කවදාවත් හිතුවාද? තමන්ට ඕනෑ විදිහට ව්‍යවස්ථාව වෙනස් කර ගත් මහින්ද රාජපක්ෂ එහෙම හිතුවාද? පුතාට දේශපාලන පෙත එළුෑ මහින්ද තමන් නහින දෙහින කාලයේ මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවාද? අවුරුදු 76කට පසුව ඔවුන් නොසිතූ දේශපාලනයක, දීප්තිමත්ම දේශපාලන පෙරළියක්, ප්‍රභාමත්ම දේශපාලන පෙරළියක්, ජනතාවගේ මහා නැගිටීමේ දේශපාලන පෙරළියක්, ජනතාවට පිබිදීම, ආස්වාදය ගෙනදෙන දේශපාලන පෙරළියක් විසින් ජාතික ජන බලවේගයට බලය ලබාදෙනවා.

මහින්ද, ගෝඨාභය පිස්සු කෙළිනකොට සජිත්ගේ ඔළුවට ඔටුන්න වැටෙයි කියලා හිතුවා. එයාගේ ඔළුවට කොස්කොළ ඔටුන්නක් වැටෙනවා. කාඩ්බෝඩ්වලින් කඩුවක් ලැබෙනවා. අද දේශපාලකයෝ විතරක් නොවෙයි, සමහර මාධ්‍ය ආයතනත් බුරන්න පටන්ගෙන තිබෙනවා. ඕනෑම මාධ්‍ය ආයතනයකට දේශපාලන ව්‍යාපාර විවේචනය කිරීමේ අයිතිය තිබෙනවා. අපි වැරදි නම් පෙන්වලා දෙන්න. අපි වැරදි හදා ගන්නම්. අපි විවෘත දේශපාලන ව්‍යාපාරයක්. අපරාධ වැරදි කර, අධිකරණයෙන් ඔප්පු වී හිරේ ඉන්න අයට ජනාධිපති සමාවක් දෙන්නේ නැහැ. ඇප මුදලක් ගෙවා ගන්න බැරි අහිංසක කෙනා ගැන ඕන නම් සලකා බලන්නම්. අපි හැමදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ වැරදි පෙන්වා දෙන්න. ඒ වැරදි පිළිගන්න විවෘත දේශපාලනයක් අපි. නමුත් දේශපාලන න්‍යාය පත්‍ර අනුව එල්ල කරන ප්‍රහාරයන්ට යටත් වෙන්නෙත් නැහැ. බය වෙන්නෙත් නැහැ. මාධ්‍ය විශාල ප්‍රමාණයක්, සමාජ මාධ්‍ය විශාල ප්‍රමාණයක් අපට සහයෝගය දෙනවා. සමාජ මාධ්‍යවල බොහෝ පිරිස් අප සමග වචනයක් වත් කතා නොකර අපි ගැන ලියන්න පටන්ගෙන, කියන්න පටන්ගෙන තිබෙනවා. අවසාන වශයෙන් කියන්නේ ගම්වල සිටින අනිත් දේශපාලන හිතවතුන් සමග සාකච්ඡා කරමින් දැනුවත් කර, එක පෙළට පෙරට එන ලෙස ආරාධනා කරනවා. ඊළඟ මැයි දිනයේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ හමුවෙමු යැයි අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *