27 April 2024
#දේශීය

මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණයට ඇතුළු වු අය අත්අඩංගුවට ගන්නැයි පොලිස්පතිට ලිපියක්

මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අනවසරයෙන් හා බළාත්කාරයෙන් ඇතුල් වු පුද්ගලයින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට අද (21) පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දී තිබේ.

මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයට පසුගිය 19 වනදා කිසියම් පිරිසක් බළාත්කාරයෙන්මෙන් ම අනවසරයෙන් ඇතුල් වී තිබේ.

ගොවි එකමුතුවක් යැයි කියා ගන්නා සංවිධානයක පිරිසක් යැයි කියාගන්නා පිරිසක් මෙසේ අනවසරයෙන් පර්යේෂණ ආයතනයකට ඇතුල් වීම නිසා වහාම පොලිස්පතිවරයා පැමිණිළි කර ඔවුන් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දී තිබේ.

මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය යනු අපේ රටේ වැඩිම අස්වනු ලබා දුන් ක්ෂේත්‍ර බෝග රැසක් හඳුන්වා දුන් පර්යේෂණ ආයතනයකි.

විශේෂයෙන් මෑතක දී අපේ රටට හඳුන්වාදුන් මෙතෙක් අප රටේ වැඩිම අස්වැන්නක් ලබා දෙන වැඩි දියුනු කළ MICH- 1 හා MICH -2 යන මිරිස් ප්‍රබේද දෙක හඳුන්වා දෙන ලද්දේ මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ සංවර්ධන ආයතනයයි.

මෙම ආයතනය ශාක නිරෝධායන නීති රීති අකුරටම ඉටු කරන ආයතනයකි. එමෙන්ම එම ගොවිපොළ වගාවන් මගින් නිෂ්පාදන සිදු කරන තැනක් නොව පර්යේෂණ හා සංවර්ධන (Research and Development) සිදු කරන ගොවිපොළකි. එම ස්ථානයට ගොස් එහි සේවය කරන කෘෂි විද්‍යාඥයින් හා නිලධාරින් අපහසුතාවට පත් කරන ආකාරයට අදාල පුද්ගලයින් කටයුතු කර තිබේ.

ඒ අනුව හෙට දින මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයාට ලිපියක් මගින් පැමිණිළි කිරීමට නියමිතය.

එමෙන්ම මින්පසු කිසිම පුද්ගලයෙකුට නිසි අවසරයකින් තොරව බළාත්කාරයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් කිසිදු ගොවිපොළකට හෝ පර්යේෂණ ආයතනයකට කඩා වැදීමට ඉඩ නොදීමට අදාල ආයතන බලධාරින්ට උපදෙස් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිතය.

කෘෂිකර්ම අමාත්‍යාංශය නීත්‍යානුකූල ගොවි සංවිධාන ලෙස පිළිගනු ලබන්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිව සිටින ගොවි සංවිධාන හා ඒවායෙහි නියෝජිතයින් පමණි. නමුත් මෙම ගොවි එකමුතුවක් යැයි කියා ගන්නා සංවිධානය කිසිසේත්ම ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ගොවි සංවිධානයක් නොවන බව කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල් අබේරත්න මහතා සඳහන් කරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *