27 April 2024
#පුවත්

ජනපති රනිල් සහ පලස්තීනයේ විදේශ කටයුතු හා සංක්‍රමණිකයින් පිළිබඳ අමාත්‍යවරයා අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පලස්තීනයේ විදේශ කටයුතු හා සංක්‍රමණිකයින් පිළිබඳ අමාත්‍ය ආචාර්ය රියාද් මල්කි (Dr. Riyad Malki) මහතා අතර හමුවක් “G77 සහ චීනය” 3 වැනි දකුණු සමුළුවට සමගාමීව ඊයේ (21) උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත්විණි.

ගාසා තීරයේ අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ඊශ්‍රායල – හමාස් ගැටුමේදි පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

ගැටුම් නවත්වා සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබා දෙන බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වසර 05ක් ඇතුළත පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ යෝජනාව බවද කියා සිටියේය.

එසේම පලස්තීනයේ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සහ ඔවුන්ට ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක් ස්ථාපිත කර ගැනීමට ඇති අහිමි කළ නොහැකි අයිතිවාසිකම සඳහා ඉහළම ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාවය ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයිනේ උප ජනාධිපති හුසෙයින් මොහොමඩ් ලතීෆ් (Hussain Mohamed Latheef) මහතා අතර හමුවක් ද “G77 සහ චීනය” 3 වැනි දකුණු සමුළුවට සමගාමීව ඊයේ (21) සිදු විය.

ශ්‍රී ලංකා සහ මාලදිවයින අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම විශේෂයෙන් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා දෙරටට එක්ව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළහ.

තවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් (António Guterres) මහතා අතර හමුවක් ද අද (21) කම්පාලා නුවරදී සිදු විය.

ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ශ්‍රී වී. මුරලීධරන් (Shri V. Muraleedharan) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡාවක නිරත වූයේ ඉන් අනතුරුවයි.

එමෙන්ම ලාඕස් ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ෆොක්සේ ඛයිඛම්පිතෝන් (Phoxay Khaykhamphithoune) මහතා සහ පිලිපීනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේකම් ඉවන් ජෝන් උයි (Ivan John Uy) මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවක නිරත විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *