27 April 2024
#Uncategorised

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් -ජනපති

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 2022 ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (03) පෙරවරුවේ සංවිධානය කර තිබූ ජාතික උත්සවයට එක්වෙමිනි.

මේ සඳහා ක්‍රීඩා, සෞඛ්‍ය, තරුණ ඇතුළු අමාත්‍යාංශ කිහිපයක සහයෝගය ලබා ගෙන අදාළ නව වැඩපිළිවෙළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා පැවැසීය.

විවිධ හැකියාවන් ඇති විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සිටින අතර ඔවුන්ගේ නිර්මාණශිලි කුසලතාවයන් රටේ අනාගත දියුණුව වෙනුවෙන් ඵලදායීව යොදා ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක ආයතනවල පවතින අඩු පාඩු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ සොයා බලා එම අංශයන්හි පහසුකම් සංවර්ධනයට පියවර ගන්නා බව ද පැවසීය.

කාන්තා, ළමා කටයුතු, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, ආබාධිත සහිත තැනැත්තන් සදහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබූ මෙම උත්සවයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල්, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්විම් අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අනුරාධා හේරත් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *