27 April 2024
#දේශීය

වන අලියකු සිදු කල පහරදීමකින් අයෙකු මරුට

වන අලියකු සිදු කළ පහරදීමකින් අනුරාධපුර, මහඉලුප්පල්ලම, පුලියන්කුළම ගම්මානයේ පදිංචි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පුලියන්කුළම ගම්මානයේ පදිංචි ජයවීර මුදියන්සේලාගේ රණසිංහ බණ්ඩා නම් 75 හැවිරිදි ගොවි මහතෙකි.තම ගෙවත්තට පැමිණි වන අලියකු පන්නා දැමීමට යාමේදී වන අලියා කළ පහරදීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබිණි.

අද (17) අලුයම 1.00 ට පමණ මෙම පුද්ගලයාට තම නිවස පිටුපසදී වන අලියකු පහරදීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

මහඉලුප්පල්ලම, පුලියන්කුළම, කුඹුක්ඇන්ද, කැලේදිවුල්වැව ඇතුළු ගම්මාන රැසකට මේ දින වල වන අලින් පැමිණීමෙන් ගම්වාසීන් මහත් පීඩාවට පත්ව ඇත.

අද (17) පුලියන්කුළම ගම්මානයට පැමිණි වන අලි රංචුවක් ගම්වාසීන් විසින් පන්නා දමමින් සිට ඇති අතර, එම වන අලියකු රණසිංහ බණ්ඩා මහතාගේ ගෙවත්තේ රැදී සිට ඇත, එම වන අලියා පන්නා දැමීමට අලුයම 1.00 ට පමණ නිවස පිටුපසට පැමිණි මොහොතේ නිවසේ සිට මීටර 100 ක් පමණ දුරකදී ගෙවත්ත තුලදීම පහරදී ඇත.

වන අලියා කළ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ රණසිංහ බණ්ඩා මහතා එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇතත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ජීවිතක්ෂයට පත් රණසිංහ බණ්ඩා මහතාගේ දේහය මේ වන විට එප්පාවල ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ප්‍රදේශවාසීන් කියා සිටියේ, වන අලි ගම්වැදීම හේතුවෙන් තමන් මහත් පීඩාවට පත්ව ඇති බවයි, මේ පිළිබඳව බළධාරීන් නිළධාරීන දැනුම්වත් කළද කිසිදු ඵලක් නොවූ බව ඔවුන් පවසති.මේ වන විට තම ගම්මානයේ පුද්ගලයින් තිදෙනකු වන අලි පහරදීම් වලින් ජීවිතක්ෂයට පත් වූබවත්, රාත්‍රියේ හා අලුයම් කාළයේ ගම්මානය පුරා වන අලි බහුලව සිටින බැවින් වන අලි පහරදීමෙන් තුවාල ලබා සිටි රණසිංහ බණ්ඩා මහතාද රෝහල් ගත කිරීමටද පමා වූ බව ඔවුන් පැවසීය.ඒ හේතුවෙන් වටිනා මිනිස් ජීවිතයක් අහිමි වූ බවද ඔවුන් පැවසීය.තම ගම්මානයට පවතින වන අලි ගැටලුවට විසදුම් ලබා දෙන ලෙස ඔවුන් බළධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *