27 April 2024
#දේශීය

එළැඹෙන ඔක්තෝබර් මාසයේ 17 දිනට කලින් ජනාධිපතිවරණයක් – අනුර දිසානායක

එළඹෙන 2024 ඔක්තෝබර් මාසයේ 17 දිනට කලින් ජනාධිපතිවරණය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (15) ජාතික ජන බලවේගය කල්මුණේ ආසන සමුළුවක් අමතමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය “ එළඹෙන වසරේ අනිවාර්යයෙන් ඡන්දයක් පැවැත්වෙනවා. 2024 ඔක්තෝබර් මාසයේ 17 දිනට කලින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ජුලි අග වන විට මැතිවරණ කටයුතු පටන් ගන්නවා. අපි මේ දක්වා පාලකයෝ වෙනස් කළා. ආණ්ඩු වෙනස් කළා. අපි පරණ විදිහට නැතිව අලුත් විදිහට හිතලා දේශපාලනයේ වෙනසක් කරමු. දකුණේ කරන ලද සමීක්ෂණ කිහිපයකින්ම පෙන්නුම් කරනවා ජාතික ජන බලවේගය උඩින්ම ඉන්න බව. දකුණේ අය අහනවා දකුණ නම් හරි, උතුර නැගෙනහිර කොහොමද කියලා. කල්මුණ වේදිකාවේ සිට දකුණේ ජනතාවට කියනවා, දකුණේ ජනතාව ගන්න ගන්න තීන්දුවට විශාල දායකත්වයක් නැගෙනහිර මුස්ලිම් ජනතාව දෙන්න සූදානම් කියලා. අපේ රට විශාල ප්‍රපාතයකට කඩා වැටුණා. ණය ගෙවාගන්න බැරි, ජනතාවට කන්න බොන්න නැති, ධීවර බෝට්ටුව මුහුදට යවා ගන්න බැරි, ඉස්පිරිතාලේ බෙහෙත් නැති, දරුවන්ට හරි අධ්‍යාපනයක් නැති, දරුවන්ට රස්සාවක් නැති, පරිසර පද්ධතිය විනාශ වුණු, අලි-මිනිස් ගැටුමෙන් අලි සිය ගණනක් මැරුණු, ලෝකය ඉදිරියේ ලැජ්ජාවට පත්කළ, ලෝකය පිළිගන්නේ නැති, රටක් බවට අද අපේ රට පත්කර තිබෙනවා. තෙල් ටැංකි ටික, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් එක විකුණන්න හදන, නැවත ජාතිවාදී ගැටුම් හදන රටක් බවට පත්කර තිබෙනවා. මේක වෙනස් කළ යුතු නැද්ද? අපි ඔබ හමුවට ආවේ, මේක වෙනස් කරමු කියන යෝජනාව කරන්නයි. උතුරේ දමිළ ජනතාවත්, නැගෙනහිර මුස්ලිම් ජනතාවත්, දකුණේ සිංහල ජනතාවත් සියලු දෙනාම එකතුවෙලා මේ රට හදමු. ජාතිවාදය නැති, ජාතික සමගිය රකින, ආර්ථිකය ගොඩනගන ආණ්ඩුවක් අපි හදමු යැයි මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *