27 April 2024
#දේශීය

නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ඇමති ප්‍රසන්නගෙන් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක්

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ තීරණය නැවත සළකා බලන ලෙසට අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලෙසට අදාළ යෝජනාව මගින් ඉල්ලා සිටින බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති සාකච්ඡාවකදීය.

පාඩු ලබන රාජ්‍ය ආයතන ඈවර කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ. එවැනි ආයතන සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීමට මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් රාජ්‍ය වියදම් සමාලෝචන කමිටුව පත්කර තිබුණි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව, ඉංජිනේරු සංස්ථාව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානය, සීමාසහිත හොටෙල් ඩිවලපර්ස් (ලංකා) සමාගම, ඕෂන් වීව් ඩිවලොප්මන්ට් ආයතන විසුරුවා හැරීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට රාජ්‍ය වියදම් කමිටු සමාලෝචන කමිටු වාර්තාව මගින් යෝජනා කර තිබේ.
මේ අතරින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව දැනටමත් මුදල් අමාත්‍යංශය යටතට පවරා ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ සාකච්ඡාවේදී පෙන්වා දුන්නේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ඈවර කිරීම අපරාධයක් බවයි.
රාජ්‍ය වියදම් කමිටු සමාලෝචන කමිටු අදාළ කමිටුව යෝජනා 14ක් යටතේ සැකසූ එම වාර්තාව මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරන්නේ මෙම වාර්තාව සැකසීමේ දී කමිටුව විසින් අදාල ආයතනවල අදහස් ලබා නොගැනීමත් විෂය භාර ඇමතිවරයා ලෙස තමන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ද මේ පිළිබදව දැනුවත් කර නොමැති බවයි.

අදාළ කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් අමාත්‍යාංශය එකග නොවන බවත් ඒ නිසා එම තීරණය යලි සමාලෝචනය කරන ලෙසත් කැබිනට් මණ්ඩලයෙන් හා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටීමට මෙහිදී තීරණය කෙරිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *