27 April 2024
#දේශීය

USAID ආධාර යට‌තේ අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට සහනාධාරයක්

එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ආධාර මත අප රටේ දිස්ත්‍රික්ක 07ක අඩු ආදායම්ලාභී වී වගා කරන ගොවි පවුල් සඳහා එක් පවුලකට රුපියල් 15,000ක (ඩොලර් 42ක්) දීමනාවක් ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙම දීමනාව යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, වවුනියාව, මොනරාගල හා මඩකලපුව දිස්ත්‍රික්කවල වෙසෙන මාසික ආදායම රුපියල් 41,500ට වඩා අඩු ගොවි පවුල් සඳහා ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන් මෙම මුදල එම දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ගොවි පවුල්වෙත ලබා දෙන ලෙස USAID විසින් උපදෙස් ලබා දී තිබේ.

මෙම මුදල වාරික දෙකක් යටතේ ලබන ලබන ජනවාරි මාසයේ දී ලබා දීමට කටයුතු කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 08ක මුදලක් දිවයිනේ වී වගා කරන ගොවිපවුල් ලක්ෂ 12කට ලබා දීමට කටයුතු කර තිබේ. රුපියල් 10,000 සිට 20,000 දක්වා මුදලක් ගොවි ජනතාව වෙත ලබා දෙන අතර එහි පළමු අදියර යටතේ රුපියල් බිලියන 04ක් මෙම මාසයේ 31 දිනට පෙර අදාල ගොවීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා තිබේ. තවත් රුපියල් රුපියල් බිලියන 04ක මුදල ලබන ජනවාරි මාසය තුළ ගොවීන්ගේ ගිණුම්වලට බැර කරන බවද ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ යටතේ හෙක්ටෙයාර් 01ක් දක්වා වී වගා කරන ගොවීන්ට රුපියල් 10,000ක මුදලක් ද, හෙක්ටෙයාර් 02 දක්වා වගා කරන ගොවීන්ට රුපියල් 20,000ක මුදලක් ද ලබා දීමට නියමිතය.

මෙම එකදු දීමනාවක්වත් ගොවීන්ගෙන් නැවත අය කිරීමට කටයුතු නොකරන අතර මෙම සියලුම ජාත්‍යන්තර ආධාර අපේ රටේ ගොවි ජනතාව වෙත නොමිලයේ ප්‍රදාන වශයෙන් ලබා දෙන ලද ඒවා බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි. අපේ රටේ ගොවි ජනතාව සඳහා මේ තරම් සහන ප්‍රමාණයක් අන් කිසිදු වගා කන්නයක දී ලබා දී නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ අතර ලබන යල කන්නයේ දී අක්කර භාගයට වඩා අඩු වී වගා කරන සෑම ගොවියෙකුටම යුරියා පොහොර මිටියක් බැගින් නොමිලයේ ලබා දීම සඳහා කටයුතු යොදා තිබේ. යුරෝපා සංගමය (EU) හා එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය (FAO) ඒ සඳහා දායකත්වය ලබා දී තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *