27 April 2024
#දේශීය

එප්පාවල කටියාව යාය 01 විද්‍යාලයේ වෙසක් කූඩූ තරඟාවලියක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම අධ්‍යාපන කළාපයේ, එප්පාවල කටියාව යාය 01 විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ වෙසක් පහන් කූඩු නිර්මාණයන් ඇතුළත් වෙසක් පහන් කූඩු තරඟාවලියක් එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

ප්‍රාථමික අංශය හා ද්වීතීක අංශය ලෙසින් අංශ දෙකක් යටතේ මෙම තරඟාවලිය පැවැත්වුණු අතර, ඒ සඳහා ඉදිරිපත් කර තිබූ වෙසක් පහන් කූඩූ සැරසිලි කිරීම සඳහා දිරාපත් වන ද්‍රව්‍ය හා ඉවත ලන ද්‍රව්‍ය යොදා ගෙන තිබෙන අයුරු දැක ගත හැකි විය.

පොල් ඉරටු, පොල් කොළ, භු මටලු, කෙසෙල් පට්ට, කෙසෙල් කොළ,කෙසෙල් මුව, පුවක් ලෙලි, ගෝනී, කාඩ්බෝඩ් ආදී දිරාපත් වන හා නිවෙසින් ඉවත දමන ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් සිසු දරු දැරියන් විසින් අලංකාර වෙසක් පහන් කූඩු මේ සඳහා ඉදිරිපත් කර තිබිණි.

දෙමාපියන්ගේද සහය ඇතිව මෙම නිර්මාණයන් සිදු කළ බව දරු දැරියෝ එහිදී පැවසීය.

එහිදී අදහස් දැක්වූ කටියාව යාය 01 විද්‍යාලයේ බුද්ධ ධර්මය ආචාර්ය, ඇල්ලන්දේ ජිනානන්ද හිමියන්,” 2023 වර්ෂයේ වෙසක් තෙමඟුල නිමිතිකර ගෙන කටියාව යාය 01 විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ හා ආචාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් අප සිසු දරුදැරියන්ගේ සහය ඇතිව, වෙසක් පහන් කූඩූ තරගයක් පැවැත්වීමට කටයුතු කරනු ලැබුවා.එහිදී දූ දරුවන්ගේ හැකියාවන් අපට දැක ගත හැකියි.නවීන තාක්ෂණික උපකරණ වලට සීමා වෙලා ඉන්න දරු පරපුර ඒවායෙන් මුදවාගෙන සාම්ප්‍රදායික වෙසක් පහන් කූඩු නිර්මාණයට යොමු කරමින්, ඔවුන් සතු විශේෂ නිර්මාණ හැකියාවන් එළිදක්වන්නට අවස්ථාවක් හැදි වුණා.වටිනා සංස්කෘතියක් අභාවයට යන මොහොතක බුද්ධාලම්බන ප්‍රීතියෙන් මෙම පහන්කූඩු තරඟයට දරුවන් යොමු වී තිබෙනවායැයි පැවසූහ.

එප්පාවල, කටියාව යාය 01 විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.එම්.ජී ආරියරත්න මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත, විද්‍යාලයේ ගුරුභවතුන්ගේ මෙහෙයවීමෙන් මෙම වෙසක් පහන්කූඩූ තරඟය පැවැත්වුණු අතර, එහිදී ජයග්‍රහක ජයග්‍රාහිකාවන්ගේ නිර්මාණ අගයමින් ත්‍යාග පිරිනැමීමද සිදු කෙරිණි.

 

 

 

තිසර සමල් – අනුරාධපුර

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *