ලන්ඩන් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි ප්‍රමුඛ සමාගමක් වන Associated British Foods (AB Foods), තම ව්‍යුහය පිළිබඳ සිදුකළ සමාලෝචනයකින් පසු Primark විලාසිතා ජාලය සිය ආහාර නිෂ්පාදන ව්‍යාපාරයෙන් වෙන් කිරීමට (Demerger) තීරණය කර තිබේ. මෙම වෙන් කිරීම අවසන් වූ පසු, AB Foods හි කොටස් හිමියන්ට ලැයිස්තුගත ආයතන දෙකෙහිම කොටස් හිමිකාරිත්වය ලැබෙනු ඇත.
දැනට රටවල් 19ක වෙළෙඳසැල් 486ක් පවත්වාගෙන යන Primark ජාලය, AB Foods සමස්ත ලාභයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරයි. මෙම විලාසිතා ජාලයට අමතරව Ovaltine, Ryvita සහ Twinings වැනි ප්‍රමුඛ පෙළේ ආහාර සන්නාම මෙන්ම දැවැන්ත සීනි නිෂ්පාදන, කෘෂිකාර්මික සහ ආහාර අමුද්‍රව්‍ය නිෂ්පාදන අංශ රැසක හිමිකාරිත්වයද මෙම සමූහය සතු වේ.
මෙම වෙන් කිරීම හරහා Primark සන්නාමයට සහ ආහාර නිෂ්පාදන අංශයට ස්වාධීනව සිය ව්‍යාපාරික උපායමාර්ග ක්‍රියාවට නැංවීමටත්, එමගින් කොටස් හිමියන්ට උපරිම ප්‍රතිලාභ ලබා දීමටත් හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. ලෝක ප්‍රකට සන්නාම රැසක අනාගත ගමන් මග කෙරෙහි මෙම තීරණය තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇත.














