මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ස්විට්සර්ලන්තයේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ සහ උද්ධමනය ඉහළ යාමේ අවදානමක් පවතින බව ස්විට්සර්ලන්ත මහ බැංකුවේ (SNB) සභාපති මාටින් ෂලෙගල් මහතා අද (24) ප්‍රකාශ කළේය. බර්න් නුවර පැවති මහ බැංකුවේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වෙමින් ඔහු කියා සිටියේ මෙම යුද්ධය හේතුවෙන් ගෝලීය ආර්ථික තත්ත්වය “අතිශය අවිශ්චිත” මට්ටමකට පත්ව ඇති බවයි.
කෙසේ වෙතත්, පවතින අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද මිල ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ස්විට්සර්ලන්ත මහ බැංකුවට පූර්ණ හැකියාව පවතින බව ෂලෙගල් මහතා අවධාරණය කළේය. මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයන්ට එල්ල වන බාධා සහ බලශක්ති මිල ඉහළ යාම ස්විට්සර්ලන්තය වැනි රටවලට සෘජුවම බලපාන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ලෝක දේශපාලන අස්ථාවරත්වය හමුවේ ස්විස් ෆ්‍රෑන්ක් මුදල් ඒකකයේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සහ උද්ධමනය පාලනය කිරීම සිය බැංකුවේ ප්‍රධානතම වගකීමක් බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.













