27 April 2024
#දේශීය

මහජන මුදලින් නඩත්තු කරන වත්කම්වලට වගකියන්න – ආරක්‍ෂක ලේකම්

රජය තම ආදායමෙන් සැලකිය යුතු කොටසක් නිරතුරුවම රටේ ආරක්‍ෂාව සඳහා වෙන් කරන සංවර්ධනය වෙමින් පවතින රටක් වන බැවින් පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ වුවද මහජන මුදලින් නඩත්තු වන ඔබේ සම්පත් සඳහා වගවීම ඔබේ වගකීම බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසයි.

ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (22) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති නාවික හමුදා නව නිලධාරීන් අධිකාරියට පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි. මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මහත්මිය ද එක්ව සිටියාය.

තම වෘත්තීය තුල වඩා ඉහළට ළඟා වන තරමට ඔබ වඩාත් වගකීමෙන් කටයුතු කිරීමට සූදානම් විය යුතු බවද ඔහු පැවසීය.

නව තරුණ නිලධාරීන් අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සැමවිටම නාවික හමුදාව සතු වල වගකීම හිමි ඔබව අප නිරතුරුව විශ්වාස කරන අතර එම සම්පත් දිගු කාලීනව ආරක්ෂා කර ගනිමින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඒවා නිසි ලෙස භාවිතා කිරීමට ඔබ සහතික විය යුතු බවයි.

නාවික හමුදාවේ නව නායකයින් අමතා වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ, ජාතිය කෙරෙහි ඔබේ පක්ෂපාතිත්වය කිසි විටෙකත් ප්‍රශ්න කිරීමට ලක් නොකළ යුතු අතර සිවිල් නීතියට අමතරව නාවික හමුදා පනතට අනුව ඔබ ඉටු කිරීමට බැඳී සිටින නීති රීතිවලට ගරු කිරීම අනිවාර්ය වන බවයි.

දශක තුනක කුරිරු ත්‍රස්තවාදයට එරෙහි සටනේදී නාවික හමුදාවේ දායකත්වය ප්‍රශංසනීය බව සිහිපත් කළ ඔහු, අලුතින් පත් වූ නිලධාරීන් ඔවුන්ගේ පූර්වගාමීන්ගේ විශිෂ්ඨත්වය ආරක්‍ෂා කරනු ඇති බවත් ජාතියේ ආරක්‍ෂාව සහ ස්වෛරීභාවය සහතික කිරීම සහ ඉන්දියානු සාගර කලාපයේ රට මුහුණ දෙන සාම්ප්‍රදායික නොවන අභියෝග වන පුද්ගල ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, වෙනත් ජාත්‍යන්තර අපරාධ සහ ස්වාභාවික විපත් වැනි බොහෝ තර්ජන මැඩපැවැත්වීම සඳහා කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වන බව අවධාරණය කළේය.

මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්, නැඟෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක උපදේශකවරුන් සහ මිත්‍ර විදේශ රටවල නියෝජිතයින්, ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන්, සම්භාවනීය ආරාධිතයන් සහ අධිකාරියට පත් නිලධාරීන්ගේ ඥාතීන් ද මෙම වර්ණවත් රාත්‍රිය නැරඹීම සඳහා පැමිණ සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *