රජයේ රෝහල්වල පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ‘Granulocyte Colony Stimulating Factor’ (GCSF) එන්නත්වල උග්‍ර හිඟයක් මතු වී තිබේ. කීමෝතෙරපි ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ සුදු රුධිරාණු මට්ටම පහළ යාම යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම එන්නත අත්‍යවශ්‍ය වේ.
පවතින ඖෂධ හිඟය හේතුවෙන් රෝගීන්ට මෙම එන්නත් බාහිර ඖෂධ ශාලාවලින් මිලදී ගැනීමට සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. එක් එන්නතක මිල රුපියල් 3,000කට ආසන්න වන අතර, දින 5ක් වැනි කාලයක් අඛණ්ඩව දිනකට දෙවරක් බැගින් මෙම එන්නත් ලබාගැනීම රෝගීන්ට දැඩි මූල්‍ය බරක් වී තිබේ.
රජයේ රෝහල්වලින් ප්‍රමාණවත් ලෙස එන්නත් සැපයීමට නොහැකි වීම නිසා, රෝගීන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් බාහිරින් එන්නත් මිලදී ගන්නා ලෙස වෛද්‍යවරුන්ට උපදෙස් දීමට සිදුව ඇත. මෙම තත්ත්වය කඩිනමින් විසඳා නොගතහොත්, පිළිකා රෝගීන්ගේ කීමෝතෙරපි ප්‍රතිකාර ක්‍රියාවලිය අඩාල වී ඔවුන්ගේ ජීවිතවලට සෘජු අවදානමක් ඇති විය හැකි බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කරයි.
















