තුන් වතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනා ඇති සුපිරි පිහිනුම් ක්‍රීඩක ඇඩම් පීටි, ලන්ඩනයේ පැවැත්වෙන බ්‍රිතාන්‍ය පිහිනුම් ශූරතාවලියේදී මීටර් 50 ළය පිහිනුම් ඉසව්ව තත්පර 26.64කින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. පසුගිය අඟහරුවාදා මීටර් 100 ළය පිහිනුම් ඉසව්ව ද ජයගත් 31 හැවිරිදි පීටි, මෙම ජයග්‍රහණයත් සමඟ සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිස සිටින බව යළිත් තහවුරු කළේය. මෙම ඉසව්වේ දෙවන ස්ථානය තත්පර 27.10කින් අවසන් කළ 18 හැවිරිදි ෆිලිප් නොවැකිට හිමි වූ අතර, පීටි සහ නොවැකි යන දෙදෙනාම එළඹෙන අගෝස්තු මාසයේ පැරිස් නුවර පැවැත්වෙන යුරෝපීය පිහිනුම් ශූරතාවලිය සඳහා බ්‍රිතාන්‍ය කණ්ඩායමට සුදුසුකම් ලබා ගත්හ.
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සඳහා මීටර් 50 ළය පිහිනුම් ඉසව්ව අලුතින් එක් කිරීමත් සමඟ පීටි සිය ක්‍රීඩා දිවිය තවදුරටත් ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇති අතර ඔහුගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ වසර දෙකකින් ඔලිම්පික් වේදිකාවේ ඉහළම ස්ථානයට පත්වීමයි. මේ අතර, ඔලිම්පික් රන් පදක්කම්ලාභී ඩන්කන් ස්කොට් මීටර් 200 සමනල ආර ඉසව්ව ජයග්‍රහණය කළ අතර ලෝරන් කොක්ස් මීටර් 100 පසුපස ආර ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. තවද 17 හැවිරිදි ඇමලී බ්ලොක්සිජ් මීටර් 1500 නිදහස් ආර ඉසව්වේ ශූරතාව දිනා ගත් අතර පැරා-පිහිනුම් ඉසව්වෙන් බෙතනි ෆර්ත් ජයග්‍රහණය වාර්තා කළාය. ලන්ඩනයේ පැවැත්වෙන මෙම ශූරතාවලිය පුරා ඉසව් 36ක් යටතේ බ්‍රිතාන්‍ය ශූරතාවල පිරිනැමීමට නියමිත අතර, දෙසැම්බර් මාසයේ චීනයේ පැවැත්වෙන ලෝක ශූරතාවලිය සඳහා උපරිම දක්ෂතා දැක්වීම මොවුන්ගේ මීළඟ අරමුණයි.













