පසුගිය පෙබරවාරි මාසයේදී මුහුණේ ඇති වූ දරුණු ආබාධය පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් (Ben Stokes) ප්‍රකාශ කළේ තමා ඉතා වාසනාවන්ත වූ බවත්, එම අනතුර මීට වඩා දරුණු වූයේ නම් තමා අද ජීවතුන් අතර නොසිටින්නට පවා ඉඩ තිබූ බවත්ය. ඩර්හැම් (Durham) ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණු සැසියකදී පන්දුවක් මුහුණේ වැදීමෙන් ඔහුගේ කම්මුල් අස්ථියක් බිඳී ගිය අතර, ඒ සඳහා “ප්‍රධාන මුහුණේ සැත්කමකට” භාජනය වීමට ද ඔහුට සිදු විය.
එය ඉතා බියකරු අවස්ථාවක් වූ බව පවසන ස්ටෝක්ස්, පන්දුව වැදුණු ස්ථානය අඟල් කිහිපයක් හෝ එහා මෙහා වූයේ නම් තත්ත්වය මීට වඩා දරුණු වීමට ඉඩ තිබූ බව සඳහන් කළේය. මෙම ආබාධය හේතුවෙන් පසුගිය ජනවාරි මාසයේ නිමාවූ අළුබඳුන (Ashes) තරගාවලියෙන් පසුව ඔහු මෙතෙක් කිසිදු තරගයකට ක්‍රීඩා කර නොමැත.
ඔහු එළඹෙන මැයි 8 වැනිදා වොෂ්ටර්ෂයර් (Worcestershire) කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ප්‍රාන්ත තරගයකින් යළි පිටියට පිවිසීමට අපේක්ෂා කරන අතර, ජූනි 4 වැනිදා නවසීලන්තයට එරෙහිව ආරම්භ වන එංගලන්තයේ ගිම්හාන ටෙස්ට් තරගාවලිය සඳහා සූදානම් වීම ඔහුගේ ප්‍රධාන අරමුණයි. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) සමඟ පැවති මෙම සම්මුඛ සාකච්ඡාවේදී ඔහු තවදුරටත් අවධාරණය කළේ පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් (Brendon McCullum) සමඟ කිසිදු මතභේදයක් නොමැති බවත්, කණ්ඩායමේ ඉදිරි ගමන සඳහා ඔවුන් නව මාවතක් ඔස්සේ කටයුතු කරන බවත්ය.














