දෙපා නොමැතිව උපත ලැබීම නිසා වයස දින දාහතරේදී දෙමාපියන් විසින් ළමා නිවාසයකට භාරදුන් කළුතර චමීර ගයාෂාන්, සියලු බාධක ජයගනිමින් සමාජයේ ඉහළ තලයකට පැමිණි දිරිමත් තරුණයෙකි.
කළුතර ළමා නිවාසයක හැදී වැඩෙමින් රජයේ රෝමානු කතෝලික මිශ්‍ර පාසලෙන් 13 වසර දක්වා අධ්‍යාපනය ලැබූ චමීර, ඉන්පසු කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට ඇතුළත් වී සාර්ථකව උපාධිය ලබාගත්තේය. ඊට අමතරව ඔහු මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක්ද හදාරා ඇත.
උපාධියෙන් පසු ආයෝජන බැංකුවක මානව සම්පත් අංශයේ පුහුණු නිලධාරියකු ලෙස සේවයට බැඳුණු ඔහු, පසුව එහි මෙහෙයුම් විධායක නිලධාරියෙක් ලෙස උසස්වීම් ලැබීය. රැකියාවේ පහසුව තකා ඔහු කෝට්ටේ ප්‍රදේශයේ පදිංචියට පැමිණි නමුත්, පොදු ප්‍රවාහන පහසුකම් නොමැතිකම සහ කුලී වාහන මඟින් රෝද පුටුව ප්‍රවාහනය කිරීමට අකමැති වීම නිසා ඔහු දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන්නේය.
ඔහුගේ මෙම ප්‍රවාහන අපහසුතාව වටහාගත් ඩේවිඩ් පීරිස් සමාගම, සිය පිළියන්දල වැඩපොළේදී චමීරට තනිවම පදවාගෙන යා හැකි සුවිශේෂී ත්‍රිරෝද රථයක් නිර්මාණය කර පරිත්‍යාග කළේය. සියලුම පාලනයන් අත් දෙකෙන් පමණක් කළ හැකි පරිදි සහ රෝද පුටුවේ සිට පහසුවෙන් රථයට ඇතුළු විය හැකි පරිදි මෙම රථය සකස් කර ඇත.දැන් එම ත්‍රිරෝද රථයෙන් සති අන්තයේ කළුතර තමන් හැදී වැඩුණු ළමා නිවාසය වෙත යන චමීර, රැකියාව කරන අතරතුර සිය පශ්චාත් උපාධිය ලබාගැනීමේ ඊළඟ බලාපොරොත්තුව වෙනුවෙන් කැපවී සිටියි.














