ශ්රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම මෑත කාලයේ අත්කරගෙන ඇති ප්රගතිය ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති ෂේක් සල්මාන් බින් ඉබ්රාහිම් අල් කලීෆා මහතාගේ ඇගයීමට ලක්ව තිබේ.
ජපානයේ ටෝකියෝ නුවර පැවති AFC විශේෂ සම්මේලනයට සමගාමීව, ඒ මහතා ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමාර් මහතා හමුවූ අවස්ථාවේදී මෙම අදහස් පළ කර ඇත.
ශ්රී ලංකාව FIFA ලෝක ශ්රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීම මෙරට පාපන්දු ක්රීඩාවේ වර්ධන හැකියාව සහ අනාගත අපේක්ෂාවන් පෙන්නුම් කරන බව AFC සභාපතිවරයා සඳහන් කර ඇත.
ශ්රී ලංකාවේ පාපන්දු ක්රීඩාව සංවර්ධනය කිරීම සඳහා AFC ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ජස්වර් උමාර් මහතා සිය ස්තුතිය පළ කර තිබේ. විශේෂයෙන්ම පාපන්දු යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා නව, උසස් ප්රමිතියෙන් යුත් පාපන්දු ක්රීඩාංගණ දෙකක් ලබාදීමට සහාය වීම පිළිබඳව ඔහු AFC වෙත කෘතඥතාව පළ කළේය.
මූල්ය ආධාරවලට අමතරව, බිම් මට්ටමේ පාපන්දු සංවර්ධනයේ සිට ඉහළ කාර්යසාධන මට්ටම දක්වා ක්රීඩාව දියුණු කිරීම සඳහා අවශ්ය යටිතල පහසුකම් සහ තාක්ෂණික සහාය ද AFC විසින් ලබාදෙමින් සිටියි.
ජාතික කණ්ඩායමේ ජාත්යන්තර දක්ෂතා, දේශීය තරගාවලි සහ ක්රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු ක්ෂේත්ර රැසක ප්රගතිය ශ්රී ලංකා පාපන්දු ක්රීඩාවේ ඉදිරි ගමනට වැදගත් බව මෙම හමුවේදී අවධාරණය වී තිබේ.













