ආගරපතන පොලිස් වසමට අයත් පසුමලේ ප්‍රදේශයේදී අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි තරුණයන් දෙදෙනෙකු ඊයේ (07) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ආගරපතන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.සී. බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, පොලිස් නිලධාරීන් විසින් සැකකටයුතු ලෙස එම ප්‍රදේශයේ රැඳී සිටි සැකකරුවන් පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේදී ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 28 සහ 30 යන වයස් කාණ්ඩවල පසුවන්නන් වන අතර, ඔවුන් නෝර්වුඩ් සහ ආගරපතන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය තහවුරු කරයි. වතුකරයේ තරුණ පරපුර ඉලක්ක කරගනිමින් ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් දියත් කර ඇති මෙහෙයුම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් දෙදෙනා පිළිබඳව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර, ඔවුන් ඉදිරි නෛතික කටයුතු සඳහා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ආගරපතන පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















