හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු හිටපු ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව රජයට ගෙවිය යුතු රුපියල් මිලියන 275ක මුදල නොගෙවීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
ඖෂධ මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් 2026 මාර්තු 27 වැනිදා ලබාදුන් තීන්දුවකට අනුව මෙම මුදල් ගෙවීමට නියම කර තිබූ බව එම සංවිධානය සඳහන් කරයි.
එම තීන්දුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රුපියල් මිලියන 75ක්ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාට, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපතිවරයාට සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට මෙන්ම වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂවරයාට රුපියල් මිලියන 50 බැගින්ද ගෙවීමට නියෝග කර තිබේ.
නියමිත ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි මඟහැර හදිසි ඖෂධ මිලදී ගැනීම් සිදුකිරීමේ අවශ්‍යතාව තහවුරු කිරීමට අදාළ වගඋත්තරකරුවන් අපොහොසත් වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබූ බවද වාර්තා වේ. එම ක්‍රියාමාර්ග හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාව ලැබීමේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බවද අධිකරණය තීරණය කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විමසීම්වලදී අදාළ මුදල් ගෙවා නොමැති බව තහවුරු වූ බව TISL සංවිධානය පවසයි. ගෙවීම් සඳහා නිශ්චිත කාලසීමාවක් නියම කර නොතිබුණද, එම මුදල් වහාම ගෙවිය යුතුව තිබූ බව සංවිධානයේ අදහසයි.
අදාළ නියෝගය හිතාමතාම නොසලකා හැරීම අධිකරණයට අපහාස කිරීමක් විය හැකි බව පෙන්වා දෙන TISL සංවිධානය, SC/Contempt/09/2026 යන නඩු අංකය යටතේ ගොනු කළ පෙත්සමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය සහ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත යටතේ සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පිළිපැදීම නීතියේ ආධිපත්‍යය සහ ව්‍යවස්ථාමය වගවීම තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය බවද එම සංවිධානය අවධාරණය කරයි.














