පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් වගා හානි සිදු වූ ගොවීන්ට, දින 14ක් ඇතුළත එම අලාභයන් තමන්ට අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙස කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනුම් දෙයි.
සිදුකරනු ලබන නිල තක්සේරු කිරීම්වලින් පසුව හානියේ ප්‍රමාණය මත පදනම්ව වන්දි මුදල් පිරිනැමීමට නියමිතය. මෙම වන්දි ගෙවීම් යටතේ වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් සහ ලොකු ලූනු යන බෝග සඳහා හෙක්ටයාරයකට රුපියල් 100,000ක උපරිමයකට යටත්ව වන්දි පිරිනැමේ.
මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ගොවීන් වෙත සම්පූර්ණයෙන්ම නොමිලේ පිරිනමන්නක් වන අතර, ඒ සඳහා ගොවීන්ගෙන් කිසිදු රක්ෂණ වාරිකයක් අය නොකෙරේ. පවතින අහිතකර අඩු පීඩන කාලගුණික තත්ත්වය හේතුවෙන් 2026 යල කන්නය ආරම්භයේදීම දිස්ත්‍රික්ක කිහිපයක වගාබිම් ජලයෙන් යටවීම නිසා, වගාවන්හි ආරම්භක අවධියේදීම බෝගවලට දැඩි හානි සිදුවී ඇති බව රක්ෂණ මණ්ඩලය පෙන්වා දෙයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් රක්ෂණ මණ්ඩලය වෙත උපදෙස් දී ඇත්තේ මේ පිළිබඳව අඛණ්ඩ අධීක්ෂණයක නිරත වෙමින් උපරිම සහන කඩිනමින් ගොවීන් වෙත ළඟා කරදීමට කටයුතු කරන ලෙසයි.














