ශ්‍රී ලාංකේය වැවිලි ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරමින්, Agrithmics සමාගම විසින් ගෝමර වතුයාය සඳහා සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කෙරුණු ඩිජිටල් වතු කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, ඩිජිටල් තාක්ෂණය ක්‍රියාත්මක කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය හිමිකාරිත්වය සහිත තේ වතුයාය ලෙස ගෝමර වතුයාය ඉතිහාසයට එක්විය.
මීට පෙර පැවති අතින් වාර්තා තබා ගැනීමේ ක්‍රමවේදය නිසා ඇති වූ අකාර්යක්ෂමතාව, දත්තවල නිරවද්‍යතාව පිළිබඳ ගැටලු සහ වැටුප් ගෙවීම්වල ඇති වූ ප්‍රමාදයන් වැනි අභියෝග රැසකට මෙම නව ඩිජිටල් විසඳුම හරහා විසඳුම් ලැබී ඇත. Agrigen නමින් හඳුන්වා දී ඇති මෙම පහසුකම මගින්, කම්කරුවන්ගේ සේවයට වාර්තා කිරීම සහ තේ දළු නෙළීමේ දත්ත ජංගම දුරකථන යෙදවුම් සහ ඩිජිටල් තරාදි හරහා ක්ෂණිකව පද්ධතියට ඇතුළත් කෙරේ. එමගින් සේවකයින්ට තම දෛනික වැටුප නිවැරදිව හිමිවීම සහ විනිවිදභාවය තහවුරු වේ.
තවද, GPS තාක්ෂණය සහ ඩිජිටල් පුවරු භාවිතයෙන් වතුයායේ සහ කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු සජීවීව නිරීක්ෂණය කිරීමට ඉහළ කළමනාකාරිත්වයට හැකියාව ලැබී ඇත. මෙම පද්ධතිය දුරකථන සංඥා අඩු ප්‍රදේශවල පවා අන්තර්ජාල පහසුකම් නොමැතිව භාවිත කළ හැකි වීම සහ මුහුණ හඳුනා ගැනීමේ තාක්ෂණයෙන් සමන්විත වීම විශේෂත්වයකි.
මෙම ව්‍යාපෘතිය රජයේ පුළුල් ඩිජිටල්කරණ සැලසුමේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන අතර, මේ වසර අවසානය වන විට රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පවතින සියලුම වතුයායවල් සඳහා මෙම තාක්ෂණය හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. Agrithmics සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රශාන්ත් ප්‍රේම්කුමාර් මහතා සහ රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති ආචාර්ය සිසිර රණතුංග මහතා සඳහන් කරන්නේ, මෙමගින් මෙරට වැවිලි ක්ෂේත්‍රය නූතන ලෝකයට ගැලපෙන පරිදි හැඩගැස්වීමටත්, ශ්‍රමිකයින්ට සාධාරණත්වය සහ වගවීම හිමිකර දීමටත් හැකි වූ බවයි.
















