ලොව විශාලතම අර්ධ සන්නායක (Chip) නිෂ්පාදන උපකරණ සැපයුම්කරු වන ඕලන්දයේ ASML සමාගම, කෘතිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනය හේතුවෙන් 2026 වසර සඳහා සිය ආදායම් ඉලක්ක ඉහළ නංවා තිබේ. බදාදා නිකුත් කළ පළමු කාර්තුවට අදාළ මූල්‍ය වාර්තා මඟින් අපේක්ෂිත ප්‍රමාණයට වඩා වැඩි ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇති එම සමාගම, 2026 වසර සඳහා සිය ආදායම් ඉලක්කය යුරෝ බිලියන 36 සිට 40 දක්වා පරාසයක් දක්වා ඉහළ නංවා ඇත. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස්ටෝෆ් ෆුකේ ප්‍රකාශ කරන්නේ වර්තමානයේ චිප්ස් සඳහා පවතින ඉල්ලුම සැපයුමට වඩා බෙහෙවින් වැඩි බවත්, ඒ හේතුවෙන් පාරිභෝගික සමාගම් සිය ධාරිතාව පුළුල් කිරීමේ සැලසුම් වේගවත් කර ඇති බවත්ය.
විශේෂයෙන්ම 2026 වසරේදී “Low NA EUV” යන්ත්‍ර 60ක් නැව්ගත කිරීමට සමාගම සැලසුම් කර ඇති අතර එය 2025 වසරට වඩා 25%ක වර්ධනයකි. නවීන AI මාදිලි පුහුණු කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රබල චිප්ස් නිෂ්පාදනය කිරීමට ASML හි ලිතෝග්‍රැෆි යන්ත්‍ර අත්‍යවශ්‍ය වීම මෙම දැවැන්ත වර්ධනයට ප්‍රධාන හේතුව වී තිබේ. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ වුවද, ගෝලීය තාක්ෂණික ක්ෂේත්‍රයේ පවතින මෙම AI රැල්ල හේතුවෙන් ASML සමාගම සිය කෙටි කාලීන සහ මධ්‍ය කාලීන ව්‍යාපාරික ඉලක්ක ඉතා සාර්ථකව ජයගනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ විශ්වාසය පළ කරති.













