කෘතිම බුද්ධිය (AI) සමඟ සිදුකරන රහසිගත කතාබහ පවා අධිකරණයේදී ඔබට එරෙහිව සාක්ෂි ලෙස භාවිතා කළ හැකි බවට ඇමෙරිකානු නීතිඥයින් සිය සේවාදායකයින්ට අනතුරු අඟවයි. නිව්යෝර්ක් ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් පසුගියදා ලබා දුන් තීන්දුවක් සමඟ මෙම අනතුරු ඇඟවීම් තවදුරටත් දැඩි වී තිබේ.
අදාළ නඩු තීන්දුවට අනුව, මූල්‍ය වංචා චෝදනා එල්ල වී සිටින බංකොලොත් වූ මූල්‍ය ආයතනයක හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකු විසින් AI චැට්බොට් (Chatbot) සමඟ සිදු කළ සංවාද රහසිගත තොරතුරු ලෙස ආරක්ෂා කළ නොහැකි බවත්, ඒවා නඩු පවරන්නන්ට සාක්ෂි ලෙස ඉදිරිපත් කළ හැකි බවත් අධිකරණය තීන්දු කළේය. සාමාන්‍යයෙන් නීතිඥයෙකු සහ සේවාදායකයෙකු අතර සිදුවන සංවාද සඳහා හිමිවන නීතිමය රහස්‍යභාවය (Attorney-client privilege) AI චැට්බොට් සමඟ සිදුකරන සංවාද සඳහා අදාළ නොවන බව මෙහිදී පැහැදිලි විය.
මෙම තත්ත්වය හමුවේ, පුද්ගලික හෝ නීතිමය ගැටලුවලදී AI උපදෙස් ලබා ගැනීමේදී ඉතා ප්‍රවේශම් වන ලෙසත්, AI යනු විශ්වාසවන්ත උපදේශකයෙකු නොව ඕනෑම මොහොතක දත්ත අනාවරණය විය හැකි තාක්ෂණික මෙවලමක් පමණක් බවත් නීතිඥයෝ පෙන්වා දෙති.













