තමන් අතිශය සාමාන්‍ය සහ අසීරු ආර්ථික ජීවිතයක් ගත කරන බවට මීට පෙර ප්‍රකාශ කළ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ 2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශය යැයි කියනු ලබන ලේඛනයක් මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබේ. ප්‍රවීණ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා විසින් ප්‍රසිද්ධ කරන ලද මෙම ලේඛනයට අනුව, අමාත්‍යවරයාගේ ප්‍රකාශ සහ සැබෑ වත්කම් අතර බරපතල පරස්පරතාවයක් පවතින බවට චෝදනා එල්ල වේ.
අමාත්‍යවරයා සතුව රුපියල් ලක්ෂ 670ක් (කෝටි 6.7ක්) පමණ වටිනා ගොඩනැඟිලි සහ නිශ්චල දේපළ පවතින බව එහි සඳහන් වේ. එමෙන්ම රුපියල් ලක්ෂ 46ක් වටිනා රන් ආභරණ සහ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි සමාගම් 10ක සිදුකර ඇති ආයෝජන පිළිබඳව ද එහි තොරතුරු ඇතුළත් වේ. තමන්ට පෙන්වීමට වත්කමක් නැති බව පැවසුවද, මිතුරෙකු ලබාදුන් මුදලින් මිලදී ගත් බව කියන ලක්ෂ 45ක මෝටර් රථයක් ද අමාත්‍යවරයා සතු බව මෙම ලේඛනය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, පසුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වූ කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ පිහිටි අමාත්‍යවරයාගේ සුපිරි තෙමහල් නිවස මෙම වත්කම් ප්‍රකාශයට ඇතුළත් කර නොමැති බව උවිඳු කුරුකුලසූරිය මහතා විශේෂයෙන් පෙන්වා දෙයි. පක්ෂ සහෝදරයන් ලබාදෙන සහල් සහ පොල්වලින් ජීවත් වන බව පවසන දේශපාලනඥයෙකු සතුව මෙවැනි වත්කම් පැවතීම පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයන් සිය විවේචන එල්ල කරමින් සිටින අතර, මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අවධානය යොමු විය යුතු බව ද අවධාරණය කෙරේ.














