27 April 2024
#සංවර්ධන

මෙවර කන්නයේදී ගොවියාට ආධාර දිගටම ලබා දෙනවා – ඇමැති අමරවීර

මෙවර කන්නය වෙනුවෙන් ගොවින්ට හෙක්ටයාරයක් සඳහා රුපියල් පනස් දාහකට වැඩි ප්‍රමාණයක ආධාර ලබා දී ඇති බවත් ඉදිරියේදී තවත් ආධාර ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලෝක බැංකුව මගින් අරමුදල් සපයන කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක දේශගුණික සුහුරු වාරී කෘෂිකර්ම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ දේශගුණික සුහුරුවාරී කෘෂිකර්ම භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 40 ක වියදමින් ඉදි කරණු ගොවිපොළ ක්ෂ්‍රේත්‍ර පාසල තිරප්පනය වගයාකුළම ගම්මනායේදී විවෘත කෙරුණු අවස්ථාවට එක්වෙමිනි.

දේශගුණික විපර්යාස අවම කිරීම, අනුවර්ධනය වීම සහ ආහාර සුරක්ෂිතතාවය (භෝග ඵලදායිතාව) සඳහා වන අභියෝග වලට මුහුණ දීම සඳහා ගොවීන් පුහුණු කිරීමට සහ සුහුරු කෘෂිකර්ම භාවිතයන් පිළිබඳ අත්දැකීම් ලබා දීමට මෙම ගොවිපොළ ක්ෂ්‍රේත්‍ර පාසල භාවිතා කෙරේ.

පුහුණුව සඳහා සෑම කණ්ඩායමක්ම නායක ගොවීන් සහ සහායක සංවිධානවල තාක්ෂණික නිළධාරීන් ඇතුළුව සහභාගීවන්නන් 25 දෙනෙකුගෙන් සමන්විත වේ.දේශගුණික සුහුරු වාරී කෘෂිකර්ම ව්‍යාපෘතිය ව්‍යාපෘති කාළ සීමාවේ ගොවීන් සහ තාක්ෂණික නිළධාරීන් සඳහා පුහුණු සැසි 74 ක් ක්‍රියාත්මක කිරීමට සහ දේශගුණික සුහුරු කෘෂිකර්ම තාක්ෂණය සහ භාවිතය පිළිබඳව සහභාගී වන්නන් 1850 කගේ හැකියාවන් ගොඩනැගීමට සැලසුම් කර ඇත.

දේශගුණික සුහුරු කෘෂිකර්ම පාසලේ වාස්තු විද්‍යාත්මක සැලසුමේ වගකීම මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය ආචර්ය මිලින්ද පතිරාජ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් නොමිලේ සේවය සපයා ඇත.ඔහුගේ සේවය අගයමින් සම්මානයක් පිරිනැමීමද එහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, තිරප්පනය ප්‍රාදේශීය සභා සභාපති රොෂාන් ඉලංගසිංහ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින්, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු අමාත්‍යංශ නිළධාරීන්, ගොවි ගෙවිලියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *