පාලන මිල ඉක්මවා වැඩි මිලට කීරි සම්බා සහල් අලෙවි කළ අක්කරේපත්තුව ප්‍රදේශයේ වෙළෙඳසැලකට රුපියල් ලක්ෂයක (100,000) දඩයක් නියම කිරීමට අක්කරේපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබේ.
රජයේ ගැසට් නිවේදන ප්‍රකාරව කීරි සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 260ක් ලෙස නියම කර තිබියදී, අදාළ වෙළෙඳසැල විසින් සහල් කිලෝවක් රුපියල් 400 බැගින් (කිලෝ 2ක් රුපියල් 800කට) අලෙවි කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකින් පසු අධිකරණයට ඉදිරිපත් කළ වෙළෙඳසැල් හිමිකරු වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඩය නියම විය.
වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා දිවයින පුරා වැටලීම් දැඩි කරන ලෙස පාරිභෝගික අධිකාරිය සිය නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන ස්ථාන පිළිබඳ තොරතුරු 1977 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දිය හැකිය.













