ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරයට රාජකීය පණ්ඩිත, ශාස්ත්රපති පූජ්ය අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියන් පත් කර තිබේ.
ඒ, එම විහාරස්ථානයේ අධිපති ධුරය දැරූ ශ්රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අතිපූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් පසුගිය 18 වැනිදා අපවත් වීමෙන් අනතුරුවය.
කලක් රෝගාතුරව සිටි සිරිවිමල නාහිමියෝ මහනුවර පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අපවත් වන විට 96 වැනි වියේ පසුවූහ.
ගැටඹේ රාජෝපවනාරාමය කේන්ද්ර කරගනිමින් මෙරට බෞද්ධ පුනර්ජීවනය සහ සංස්කෘතික අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ උන්වහන්සේ, ජාතික හා ආගමික වශයෙන් වැදගත් අවස්ථාවලදී රට සහ ආගම වෙනුවෙන් හඬ නැගූ හිමිනමක් ලෙස ද ගෞරවාදරයට පාත්ර වූහ.
අපවත් වී වදාළ සිරිවිමල නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්ය අනුග්රහය සහිතව පසුගිය 21 වැනිදා පස්වරු 2.00ට ගැටඹේ නාගරික ක්රීඩාංගණයේදී පැවැත්විණි.














