ජාතික ජන බලවේගය බලය හොබවන අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් තමන්ට අමානුෂික ලෙස පහර දුන් බව පවසමින් පුද්ගලයෙකු රෝහල්ගත වී තිබේ. පහරකෑමට ලක්වූ පුද්ගලයා පවසන පරිදි, ඔහු එම ස්ථානයට පැමිණ ඇත්තේ සිදුවන දේ නිරීක්ෂණය කිරීමට මිස කිසිදු කලහකාරී ලෙස හැසිරීමට නොවේ.
කිසිදු කාරණයකින් තොරව සභාපතිවරයා තමන් වෙත පැමිණ පහර දුන් බව ඔහු චෝදනා කරයි. “මම මෙතනට ආවේ මේ සිදුවීම බලන්න. මම කාගෙන්වත් කිසිම දෙයක් ඇහුවේ නැහැ, කිසිම බාධාවක් කළේ නැහැ. සභාපතිතුමා එකපාරටම ඇවිත් ‘උඹ මොකද මෙතන කරන්නේ’ කියලා අහලා මට තුන් හතර වතාවක් පහර දුන්නා. මම බිම වැටුණා, මගේ ෆෝන් එකත් විසිවෙලා ගියා. මට දැන් හරිම අමාරුයි, කරකැවිල්ල වගේ තියෙනවා,” යැයි පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල් ඇඳේ සිට ප්‍රකාශ කළේය.
මෙම පහරදීම පරණ තරහක් පිරිමසා ගැනීම සඳහා සිදු කරන ලද්දක් විය හැකි බවට ද ඔහු සැක පළ කරයි. තමන් සාමකාමීව සිටියදී මෙලෙස පහර දීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














