වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්‌යාලයේදී පැවති සාකච්ඡාවකදී විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ආයෝජන සහ ව්‍යවසායකත්ව අවස්ථා සඳහා ඌණ උපයෝජිත රජයේ ඉඩම් අවශ්‍ය යටිතල පහසුකම් සමඟ ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. පසුගිය ජූලි 24 වන දින පැවති මෙම සාකච්ඡාවේදී වැවිලි ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා අදාළ ආයතන ඒකාබද්ධ කිරීමේ කටයුතු කඩිනම් කිරීම සහ රාජ්‍ය ඉඩම් සම්බන්ධ ගිවිසුම් යාවත්කාලීන කිරීම සඳහා ශක්තිමත් නීතිමය රාමුවක් සකස් කිරීම පිළිබඳවද විශේෂ අවධානය යොමු කර ඇත.
මෙම සමාලෝචන රැස්වීමේදී 2026 අයවැය යටතේ ක්‍රියාත්මක වතු ඉඩම් වටමැනුම් වැඩසටහන, පොල් වගා සංවර්ධන හා රෝග පාලන වැඩසටහන්, කප්රුක අරමුදල, කුඩා තේ වතු නැවත වගා කිරීම සහ රබර්, කජු, තල් හා කිතුල් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පුළුල් ලෙස විමසා බලන ලදී. මලෛගම් ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස දහස් ගණනක ව්‍යාපෘතිය නියමිත කාලසීමාව තුළ අවසන් කරන ලෙසත්, විදේශ ආධාර හා ණය මත ක්‍රියාත්මක ව්‍යාපෘති කාර්‌යක්ෂමව ක්‍රියාත්මක කර ප්‍රතිපාදන ආපසු යාම වළක්වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී දැඩි ලෙස අවධාරණය කළේය.
දිට්වා ආපදා තත්ත්වයෙන් හානියට පත් තේ, පොල් සහ රබර් වගා නැවත ස්ථාපිත කිරීමේ වැඩසටහන් මෙන්ම රාජ්‍ය වැවිලි සමාගම්වල ලාභදායීත්වය ඉහළ නංවාගැනීමේ පියවරයන් ද මෙහිදී සමාලෝචනය කෙරිණි. තවද, ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ පාඨමාලා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීමේ හැකියාව සොයා බලන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර, මෙම පියවරයන් හරහා වැවිලි ක්ෂේත්‍රයේ සමස්ත කාර්‌යක්ෂමතාව සහ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.














