කෙන්යාවේ මැන්ඩෙරා (Mandera) ප්‍රාන්තයේ, සෝමාලියානු දේශසීමාව ආසන්නයේ මුර සංචාරයේ යෙදී සිටි කෙන්යානු විශේෂ ආරක්ෂක බලකායේ (Special Operations Group) භට පිරිසක් ඉලක්ක කරගනිමින් අල්-කයිඩා සංවිධානයට සම්බන්ධ ‘අල්-ෂබාබ්’ (al-Shabab) ත්‍රස්තවාදීන් එල්ල කළ සැඟවුණු ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රහාරයෙන් අනතුරුව එම ස්ථානයට අතිරේක ආරක්ෂක භට පිරිස් රැගෙන ආ සන්නද්ධ රථයක් ද පාරිසරික බෝම්බ (roadside bomb) ප්‍රහාරයකට ලක්ව විනාශ වී ඇති බව කෙන්යානු පොලිසිය තහවුරු කරයි.
පසුගිය සති කිහිපය පුරා කෙන්යාවේ ඊසානදිග දේශසීමා ආශ්‍රිතව අල්-ෂබාබ් සංවිධානය විසින් එල්ල කරන ප්‍රහාරයන්ගේ සීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, සෝමාලියාවේ සිටින කෙන්යානු හමුදා ආපසු කැඳවීමට බලපෑම් කිරීම සඳහා ත්‍රස්තවාදීන් මෙලෙස දේශසීමා හරහා පැමිණ ප්‍රහාර එල්ල කරන බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














