අම්බලන්තොට, මාල්පෙත්තාව ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමක් හේතුවෙන් මාමණ්ඩිය විසින් එල්ල කළ පොලු පහරකින් 26 හැවිරිදි බෑණා කෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයා අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බිරිඳ සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් ඇය මාල්පෙත්තාව පිහිටි ඇයගේ පියාගේ නිවසට පැමිණ සිට ඇති අතර, ඊයේ රාත්‍රී 11.00ට පමණ අධික ලෙස බීමත්ව ටිපර් රථයකින් එහි පැමිණි සැමියා ඇයට නැවත නිවසට පැමිණෙන ලෙස දන්වා ඇත.
එහිදී බිරිඳ ඊට විරුද්ධ වීම නිසා කෝපයට පත් ඔහු, තමා පැමිණි ටිපර් රථය නිවසේ ප්‍රධාන ගේට්ටුවේ හප්පා ඊට හානි සිදු කර තිබේ. පසුව නිවස තුළට කඩා වැදී බිරිඳට පහර දී ඇති අතර, ඉන් බේරීම සඳහා ඇය සිය පියා සිටි කාමරය දෙසට දිව ගොස් ඇත. එහිදී සැමියා විසින් දියණියට දිගින් දිගටම පහරදීම වැළැක්වීම සඳහා ඇයගේ පියා (මාමණ්ඩිය) විසින් පොල්ලකින් බෑණාට පහර දී තිබේ. හිසට වැදුණු ප්‍රබල පහර හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම ඇද වැටී ඇති අතර, අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මාමණ්ඩියව අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
















