ඇමරිකා එක්සත් ජනපදයේ 250 වන නිදහස් දින සංවත්සරය (America250) වෙනුවෙන් එරට පුරා දැවැන්ත සැමරුම්, පෙළපාලි සහ ප්‍රසංග සංවිධානය කර තිබුණ ද, මේ වන විට ඇමරිකාවේ නැගෙනහිර කලාපයට බලපා ඇති අධික උණුසුම් කාලගුණය (Heatwave) හේතුවෙන් ඊට දැඩි බාධා එල්ල වී තිබේ. අධික උෂ්ණත්වය හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට දැඩි අවදානමක් මතුවිය හැකි බවට එරට බලධාරීන් අනතුරු අඟවා ඇත.
1776 ජූලි 4 වනදා ඇමරිකාව නිදහස් ප්‍රකාශනය පිළිගෙන වසර 250ක් සපිරීම නිමිත්තෙන් වොෂින්ටන් නුවර ‘National Mall’ හිදී විශේෂ රාජ්‍ය ප්‍රදර්ශනයක් ද පැවැත්වේ. කෙසේ වෙතත්, වත්මන් දේශපාලන බෙදීම් මැද මෙම උත්සව සැලසුම් කිරීම ද දැඩි මතභේදයට ලක්විය. පසුගිය වසරේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් “Freedom 250” නමින් නව කමිටුවක් පත් කරමින් මෙම සැමරුම්වල ප්‍රධාන වගකීම් තමා යටතට ගත් අතර, ප්‍රදර්ශනය විවෘත කරමින් ඔහු කියා සිටියේ තමා “ලෝකයේ අංක එකේ ආකර්ෂණය” බවයි.
ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට නියමිතව සිටි ප්‍රමුඛ පෙළේ සංගීත කණ්ඩායම් සහ ගායකයින් රැසක්, එය ට්‍රම්ප්ගේ දේශපාලන මැදිහත්වීම් මත සිදුවන්නක් බව පවසමින් පසුගිය මැයි සහ ජූනි මාසවලදී ඉන් ඉවත් වීමට කටයුතු කළහ. මේ අතර, ජනාධිපති ට්‍රම්ප් මෙම ජූලි 4 නිදහස් දිනය නිමිත්තෙන් වොෂින්ටන් නුවරදී මෙතෙක් පැවැත්වෙන දැවැන්තම “ට්‍රම්ප් ජනරැලිය” (TRUMP RALLY) පවත්වන බවට ද ප්‍රතිඥා දී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Al Jazeera ඇසුරින්
















