අම්පාර පොලිස් බල ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් වෙඩි තැබීමක් සිදුව තිබේ. ඉකුත් (17) රාත්‍රියේදී පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) විසින් අදාළ වැටලීම සිදුකළ අවස්ථාවේදී සැකකරු නිලධාරීන්ගේ රාජකාරියට දැඩි ලෙස බාධා කරමින් පහරදීමට තැත් කර ඇති අතර, පසුව ඔහුව අත්අඩංගුවට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගත්ත ද සැකකරු එහිදී රෝහලින් සූක්ෂ්ම ලෙස පලා ගොස් ඇත. එලෙස පලාගිය සැකකරුවාව නැවත අත්අඩංගුවට ගැනීමට ජංගම සංචාරක පොලිස් නිලධාරියෙකු උත්සාහ දරා ඇති අතර, එම අවස්ථාවේදී සැකකරු නිලධාරියා සතු ගිනිඅවිය බලහත්කාරයෙන් උදුරා ගැනීමට තැත් කිරීමත් සමඟ ඇතිවූ දැඩි පොරබැදීම මත සැකකරුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරුවාව පොලීසිය විසින් නැවත වරක් දැඩි ආරක්ෂාව මධ්‍යයේ රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර, මෙම දරුණු පොරබැදීම හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු ද ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව අම්පාර පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
















