ආණමඩුව, කොට්ටුකච්චිය ප්‍රදේශයේදී සිදුවූ අවාසනාවන්ත යතුරුපැදි අනතුරකින් එකම පවුලේ බාල සොහොයුරා මියගොස් ඇති අතර, වැඩිමහල් සොහොයුරා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
පොසොන් කලාපය නැරඹීමෙන් පසු ආපසු නිවෙස බලා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී, අධික වේගය හේතුවෙන් පාලනය ගිලිහී කොට්ටුකච්චිය හා කච්චිමඩුව ජලාශ යා කරන පාලම අසල ඇළ මාර්ගයකට ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී 19 හැවිරිදි සසිඳු ලක්ෂාන් යතුරුපැදිය පදවා ඇති අතර, ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන පසිඳු ලක්ෂාන් පසුපස ගමන් කර ඇත. අනතුරින් පසු බරපතළ තුවාල ලබා සිටි සසිඳු මහත් වෙහෙසක් දරා අඩි කිහිපයක් ඇවිද ගොස් ඇත්තේ අසල තිබූ ගැඹුරු ඇළ මාර්ගයකටය. එහිදී ඔහු අවාසනාවන්ත ලෙස ජලයට ඇද වැටී ඇති අතර, පසුව සිරුර සොයාගෙන රෝහලට රැගෙන යන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ.
බරපතළ ශරීර අභ්‍යන්තර තුවාල ලබා සිටින වැඩිමහල් සොහොයුරාව පුත්තලම මූලික රෝහලෙන් කොළඹ ජාතික රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යවා ඇත. ආණමඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














