මෙරට ඉන්ධන වෙළඳාමේ නිරත පෞද්ගලික සමාගම් විසින් ඉන්ධන මිල අඩු නොකරන ලෙස රජයට දන්වා ඇති බව ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රජය විසින් ලබා දෙන බවට පොරොන්දු වූ සහනයන් හෝ සාධාරණය මෙතෙක් ඉටු කර නොමැති වීම හේතුවෙන් එම සමාගම් මෙම ස්ථාවරයේ පසුවන බවයි. වත්මන් වෙළඳපොළ තත්ත්වය අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 6කින් පමණ අඩු කිරීමේ හැකියාව පවතින බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.
රජයේ පාර්ශවයෙන් ඉන්ධන මිල සම්බන්ධව පරස්පර අදහස් පළ වන බව පෙන්වා දෙන පාලිත මහතා, සභානායක විමල් රත්නායක මහතා අගෝස්තු සහ සැප්තැම්බර් මාස වන විට මිල අඩු කරන බව පැවසුවද, අග්‍රාමාත්‍යවරිය පවසන්නේ මෙය තෙල් කඩයක් නොවන බවත්, දැනට පවතින්නේ වැඩි මිලට ලබාගත් පැරණි තොග බවත්ය. අග්‍රාමාත්‍යවරියගේ මෙම ප්‍රකාශය දැඩිව විවේචනය කරන ආනන්ද පාලිත මහතා, පසුගිය මාර්තු මාසයේදී ඉන්ධන මිල හතර වතාවක් ඉහළ දැමූ අවස්ථාවේදී රජය ක්‍රියා කළේ තෙල් කඩයක ආකාරයෙන් දැයි ප්‍රශ්න කර සිටිනවා.
















