මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම පැවැත්විණි. පොලිස් සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ රටේ නීතිය හා සාමය තහවුරු කිරීමේ අරමුණින් මෙම රැස්වීම කැඳවා තිබුණි.
මෙම රැස්වීමේදී මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම පොලිස් ස්ථාන ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සඳහා පොලිස් නිලධාරීන්ගේ නියෝජනය සහතික කිරීම සහ කිලිනොච්චිය ප්‍රදේශයේ සිදුවන වැලි ජාවාරම් මැඬලීම සඳහා ගත යුතු පියවරයන් පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.
අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
















