වර්තමාන වෙළෙඳපොළේ සිමෙන්ති, යකඩ ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් අතරමඟ නතර වී ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත සක්‍රීය කිරීම සඳහා, වැඩි වූ මිල ගණන්වලට ගැලපෙන පරිදි ඇස්තමේන්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති මහාචාර්ය චන්දන අබයරත්න මහතා මේ බව අනාවරණය කළේ ‘ගම් දහසක වැඩ දහසක්’ ජාතික වැඩසටහනේ පුත්තලම දිස්ත්‍රික් ව්‍යාපෘති සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
මෙම වැඩසටහන යටතේ නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සංවර්ධනයට දායක වන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, එම මුදල් මේ වන විටත් දිස්ත්‍රික්ක වෙත නිදහස් කර තිබේ. දෑතේ මහන්සියෙන් වැඩ කළ හැකි ගොවි, ධීවර ප්‍රජාව ඇතුළු නිෂ්පාදකයන් ස්වෝත්සාහයෙන් නැඟී සිටින වටපිටාවක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, නිවැරදි මූල්‍ය කළමනාකරණය සහ අනවශ්‍ය වියදම් කප්පාදු කිරීම තුළින් පසුගිය 2025 වසරේදී පමණක් භාණ්ඩාගාරයට රුපියල් ට්‍රිලියනයක අමතර ආදායමක් එකතු කර ගැනීමට හැකි වූ බවයි. මෙම මූල්‍ය ශක්තිය තුළින් ආපදාවලින් හානි වූ නිවාස ප්‍රතිසංස්කරණය සඳහා මූල්‍ය ආධාර ලබා දීම, ගොවි ජනතාවට පොහොර සහනාධාර වැඩි කිරීම සහ ධීවර ජනතාව වෙනුවෙන් ඉන්ධන සහනාධාර ලබා දීමට රජය පියවර ගෙන ඇත.
දේශපාලන සංස්කෘතියේ වෙනසක් සිදු කරමින්, කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව විවෘත තරග විභාග සහ සම්මුඛ පරීක්ෂණ හරහා පමණක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදු කරන බවත්, ඒ අනුව පසුගිය වසරේදී 35,000ක් බඳවා ගත් බවත් අමාත්‍යවරයා පැවසීය. පුත්තලම රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීම ඇතුළු ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරමින් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ උදා කිරීම සඳහා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙස ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.
















