27 April 2024
#සංවර්ධන

නක්කාවත්ත සුදර්ශනාරාම විහාරයෙහි ඉපැරණි චිත්‍ර සංරක්ෂණය කෙරේ

නක්කාවත්ත සුදර්ශනාරාම විහාරයෙහි විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය හා ඉපැරණි චිත්‍ර සංරක්ෂණය කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ වෙසක් උළෙලට සමගාමීව මෙම පුරාවිද්‍යාත්මක ස්ථාන ජනතාව වෙත වැඳුම් පිඳුම් කිරීමට කඩිනමින් සංරක්ෂණ කටයුතු අවසන් කළ බව ද ස්ථානය පිළිබඳව සොයා බැලීමට එහි ගිය අවස්ථාවේදිය.

මෙම විහාරස්ථානයේ මහනුවර යුගයේ ඉදිකරනු ලැබු ටැම්පිට විහාරයක් ද පවතින අතර ඉපැරණි සාධක අතර මල් ආසන දෙකක් කණු පාදම් දෙකක් දක්නට ලැබේ. මෙහි ඇති විහාර මන්දිරය මෑත කාලීනව ඉදිකරන ලද ඉදිකිරීමක් වන අතර එහි මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇත.

කුරුණෑගල කුලියාපිටිය මාර්ගයේ කිලෝ මීටර 30 ක් පමණ ගමන් කළ විට නක්කාවත්ත ප්‍රාථමික විද්‍යාලය හමුවේ. ඒ අසලින් වමට හැරී කිලෝමීටර 1.5 පමණ ගමන් කිරීමේ දී නක්කාවත්ත සුදර්ශනාරාම විහාරය සඳහා පැමිණිය හැකිය. කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 1145 නක්කාවත්ත ග්‍රාම සේවා වසමේ, නක්කාවත්ත මැදගම, යන කොටසෙහි මෙම විහාරස්ථානය පිහිටා තිබේ.

මෙම අවස්ථාවට ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමීණි රණසිංහ, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු සහ නිලධාරිහු පිරිසක් එක්වුහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *