‘උතුරේ රජු’ (King of the North) ලෙස විරුදාවලි ලත් හිටපු මැන්චෙස්ටර් නගරාධිපති ඇන්ඩි බර්න්හැම් අද (20) බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. පසුගිය දශකයක කාලය තුළ බ්‍රිතාන්‍යයේ පත්වන හත්වන අගමැතිවරයා ලෙස ඔහු පත්වන්නේ කීර් ස්ටාමර් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුවය.
ජීවන වියදම් අර්බුදය සහ දුර්වල රාජ්‍ය සේවාවන් වැනි ජනතාවට බලපාන ප්‍රධාන ගැටලු විසඳීම සඳහා බ්‍රිතාන්‍යයේ පාලන තන්ත්‍රය ‘නැවත රැහැන්ගත කිරීමක්’ (rewire) සිදු කරන බව බර්න්හැම් ප්‍රතිඥා දී ඇත. මෙය පසුගිය වසර 40ක කාලය තුළ බ්‍රිතාන්‍ය දේශපාලනයේ සිදුවන විශාලතම වෙනස්කම් මොහොත ලෙස ඔහු හඳුන්වා දී ඇත.
සිය කැබිනට් මණ්ඩලය පත් කිරීම බර්න්හැම් මුහුණ දෙන පළමු අභියෝගය වන අතර, මුදල් අමාත්‍ය ධුරය සඳහා මේ වන විට අභ්‍යන්තර දේශපාලන සාකච්ඡා උණුසුම් වී තිබේ. මීට අමතරව, බ්‍රිතාන්‍යයේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ පොදු පහසුකම් සපයන ආයතන (Utilities) වඩාත් ශක්තිමත් රාජ්‍ය පාලනයක් යටතට ගෙන ඒම ඔහුගේ ප්‍රමුඛතා අතර වේ.
සිය ආරම්භක පියවරක් ලෙස, නීතිවිරෝධී සංක්‍රමණයන් පාලනය කිරීමේ අරමුණින් හඳුන්වා දුන් නමුත් අසාර්ථක වූ ‘ඩිජිටල් හැඳුනුම්පත්’ ව්‍යාපෘතිය අත්හැර දැමීමට ඔහු තීරණය කර ඇත. තේම්ස් වෝටර් වැනි ණය බරින් මිරිකී ඇති ආයතන විශේෂ අධීක්ෂණයක් යටතට ගැනීමට ද නව රජය සූදානම් වේ. බ්‍රිතාන්‍යයේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය වේගයෙන් නඟාසිටුවීම සඳහා ලබන සතියේ සිට නව මාර්ග සිතියමක් ඉදිරිපත් කිරීමට නව අගමැතිවරයා අපේක්ෂා කරයි.














